පුවත්විශේෂාංග

මම කවදාවත් රටට බැණ බැණ ද්වේශ කර කර යන තැනට පත්වෙන්නේ නැහැ

බණ මඩුවෙත්, මාධ්‍ය තුළත් ප‍්‍රකට ධර්ම දේශකයානන් වහන්සේනමක් ලෙස කටයුතු කළ පූජ්‍ය මාවරැල්ලේ භද්දිය හිමියන්ගේ අනුශාසනය පසුගිය කාලය තුළදී අපට ශ‍්‍රවණය කිරීමේ අවස්ථාව නොමැති විය. ඒ සඳහා හේතු වූයේ උන්වහන්සේ ජපානයට වැඩමකර සිටීමය. කෙටි කාලයක් සඳහා යළි මව්බිමට වැඩමකර සිටින උන්වහන්සේ විදේශගත වීමට බලපෑ හේතු සාධකයන් පිළිබඳව මෙන්ම කාලීන සිදුවීම් පිළිබඳව ද කළ අනුශාසනාවක් පහත පරිදි වේ.

ප‍්‍රශ්නය – ඔබ වහන්සේ ලංකාවෙන් යන්න තීරණය කළේ.

පිළිතුර – මගේ අධ්‍යාපනයේ තව පැත්තක් දියුණු කරගන්න ඔනි කියලා මම කල්පනා කළා. අපි බෞද්ධ දර්ශනයේ හදාරලා තිබෙන්නේ ථෙරවාදය පිළිබඳව. මම කල්පනා කළා, ථෙරවාදී බුදුදහම ඇසුරු කරගෙන ආචාර්ය උපාධිය දක්වා ධර්ම පර්යේෂණයන්හි නියැළුණු නිසා මහායාන බුදුදහම පිළිබඳ අධ්‍යයනයක් කර පශ්චාත් උපාධියක් ලබා ගන්න. උපාධි වැඩක් නෑ, මම රැකියාවක් කරන්නේ නැහැනේ.

එහෙත් උපාධියක් ඉලක්ක කර ගත් විට එම විෂයය ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙන නිසා මම කල්පනා කළා මහායාන බුදුදහම පිළිබඳ පශ්චාත් උපාධියක් ජපානයට ගිහින් කරන්න ඕනි කියලා. නමුත් එහාට ගියහම තමයි තේරුණේ ඒ රටේ දී ඉංගී‍්‍රසි භාෂාවෙන් බෞද්ධ දර්ශනය ඉගෙන ගැනීමට අවස්ථාවක් නොමැති බව. නමුත් වෙනත් විෂයයන් ඉංග‍්‍රීසි භාෂාවෙන් ඉගෙන ගන්න ඒ රටේ පහසුකම් තිබෙනවා. කාටහරි මහායාන දර්ශනය පිළිබඳව ඉගෙන ගන්න අවශ්‍ය නම් පළමුවෙන්ම ඒ රටේ භාෂාව ගත යුතු වෙනවා.

ලෝකයේ තිබෙන ඉගෙන ගන්න ඉතාම දුෂ්කර භාෂාවක් තමයි ජපන් භාෂාව. එම භාෂාවට හෝඩි දෙකක් තිබෙනවා. ඒ දෙක හිරගනා සහ කසගනා යනුවෙන් හඳුන්වනවා. එක හෝඩියක අකුරු 106 බැගින් තිබෙනවා. ඒ වගේම රූප අක්ෂර දස දහස් ගණනක් තිබෙනවා. එහි ප‍්‍රමාණය තවමත් කවුරුවත් හරියට කියන්නේ නැහැ. නමුත් එම භාෂාවේ යමක් ඉගෙන ගන්න නම් අඩු ගණනේ රූප අක්‍ෂර 3000ක් වත් ඉගෙන ගත යුතු වෙනවා.

එම නිසා ජපානයට ගිය විට මට පළමුවෙන්ම ඒ රටේ භාෂාව ඉගෙන ගැනීමට සිද්ධ වූවා. එම නිසා මම දැන් ජපන් භාෂා පාසලක ඉගෙනීමේ කටයුතු කරමින් සිටිනවා. ලබන වසරේ මාර්තු දක්වා මට ජපන් භාෂාව ඉගෙන ගැනීමට සිද්ධ වෙනවා. ඉන් පසුව පශ්චාත් උපාධියේ කටයුතු ආරම්භ කිරීමටත් අපේක්‍ෂා කරනවා. වසංගත තත්ත්වය නිසා අපට මහජනයා රැස් කරලා සිදු කරන ආගමික කටයුතු සීමා කිරීමට සිද්ධ වී තිබෙනවා. අලූත් ප‍්‍රභේදයක් ආවොත්, දැන් තිබෙන්නේ තාවකාලික විරාමයක් වෙන්න පුළුවන්. මේ වන විට චීනය යළි ලොක්ඩවුන් කරගෙන යනවා. අපි දන්නේ නැහැ ඊළගට මොකක්ද වෙන්නේ කියලා. මම ධර්මය තේරුම් ගන්න උත්සාහ දරන කෙනකු නිසා කල්පනා කළා ටික කාලයක් ජපානයට වැඩම කරලා අධ්‍යයන කටයුතුවල නියැළී ඉන්න එක හොඳයි කියලා.

ඒ අතරේ මට තව එක ප‍්‍රතිලාභයක් ලැබෙනවා. සාමාන්‍යයෙන් නායක හාමුදුරුවන් විසින් නිර්මාණය කළ පන්සල්වල එම හාමුදුරුවන්ගේ ගෝලයන් නායක හිමිවරුන් බවට පත්වෙන්නේ නායක හාමුදුරුවන් අපවත් වූ පසුව තමයි. නමුත් මට අවස්ථාව උදාවෙලා තිබෙනවා, මම සිටිද්දීම මගේ ගෝලයන්ට එම අවස්ථාව දීලා ඔවුන්ට මෙම කටයුතු කරගෙන යන්න තිබෙන දැනුම, ශක්තිය පිළිබඳව යම්කිසි නිගමනයක් ඇති කර ගන්න.

ඒ වගේම ඔවුන්ට උපදේශකයෙක් ලෙස මගපෙන්වමින් ඔවුන්ගේ තරුණ කාලය සම්බුද්ධ ශාසනයේ උන්නතිය සඳහා යෙදවීමටත් ඔවුන්ට අවස්ථාව ලැබිලා තිබෙනවා. එම නිසා ජපානයට වැඩම කිරීමට ගත් තීරණය වඩා අර්ථාන්විත තීරණයක් ලෙස මම දකිනවා.

ප‍්‍රශ්නය – මහායාන බෞද්ධ දර්ශනය ඉගෙන ගැනීමට ඔබවහන්සේට නව කොපමණ කාලයක් ගතවේවි ද?

පිළිතුර – එම කාලය අවුරුදු දෙකක් වෙන්නත් පුළුවන්, හතරක් වෙන්නත් පුළුවන්. ඒක තීරණය වෙන්නේ මගේ ජපන් භාෂා හැකියාව දියුණු වීමේ වේගය මත. ඒ වගේම එම පොතපත පරිශීලනය කිරීමට මට ලැබෙන හැකියාව මත.

මට දැන් වයස අවුරුදු 42 ක් වෙනවා. අලූත් භාෂාවක් ඉගෙන ගන්නවා නම් එම කටයුත්ත පළමු අවුරුදු 20 තුළ සම්පූර්ණ කරගන්න කියලා මම කියනවා. වයස අවුරුදු 30 හා 40 පැන්නට පස්සේ භාෂාවක් ඉගෙන ගන්න අප‍්‍රතිහත ධෛර්යයක් ඕනි. මම ? 12 ට සැතපෙන්නේ, උදේ 4 ට නැ`ගිටින්නේ. ඉගෙන ගැනීමට පන්සලේ පැය ගණනක් ගත කරනවා. ඒත් මතක ශක්තිය වේගයෙන් ගිලිහෙනවා. එම නිසා අලූත් භාෂාවක් ඉගෙන ගන්න එකට විශාල අභියෝග තිබෙනවා. නමුත් මම ලෙහෙසියෙන් පරාජය පිළිගන්න පුද්ගලයෙක් නොවෙයි. මම එම කටයුත්ත කරනවා කියලා සිතට ඉලක්කයක් දී තිබෙනවා. මම එම ඉලක්කය කරා මධ්‍යම ප‍්‍රමාණයේ වේගයෙන් උඩට එමින් සිටිනවා. නමුත් මට හරියටම කියන්න බැහැ, ඒ සඳහා තව කොපමණ කාලයක් ගතවේවිද කියලා.

ප‍්‍රශ්නය – ඔබ වහන්සේ වසර දෙක තුනකට හෝ විහාරස්ථානයෙන් නික්මීම ශ‍්‍රාවකයන්ට, දායකයන්ට සතුට දනවන කාරණයක් නොවෙයි නේද? විශේෂයෙන්ම මෙම කාලසීමාව තුළ.

පිළිතුර – මම ප‍්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවල වැඩසටහන්වලට සහභාගි නොවුණාට, සතියකට ධර්ම දේශනා හතරක් හෝ පහක් ෆේස් බුක්, සහ යූ ටියුබ් හරහා සිදු කරනවා. අද වන විට සමාජ මාධ්‍ය තමයි ප‍්‍රබල තැනක ඉන්නේ. එම නිසා බෞද්ධ සහ බෞද්ධ නොවන ජනතාව මගේ ධර්ම දේශනා ශ‍්‍රවණය කරනවා. ඕනෑම කෙනකුට මගේ නම යටතේ යූ ටියුබ් සහ ෆේස් බුක් පරීක්‍ෂා කළ විට අලූත් ධර්ම දේශනා ශ‍්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙනවා.

ප‍්‍රශ්නය – සමහර පුද්ගලයන් විදේශගත වූ විට යළි මව්බිමට පැමිණෙන්නේ නැහැ. ඔබ වහන්සේ එසේ නොකරන බවට මෙම අවස්ථාවේදී සහතිකයක් දෙන්න පුළුවන්ද?

පිළිතුර – බෞද්ධ භික්‍ෂුවකට ඕනෑම තැනක් අත්හැරලා යන්න පුළුවන් වෙන්න ඕනි. ඒ නිදහස බෞද්ධ භික්‍ෂුවකගේ මනසේ තිබිය යුතයි. එක් ස්ථානයකට බැඳුණු මුසපත්වුණු භික්‍ෂුවක් නම් එහි අදහස තමයි උන්වහන්සේට තව බොහෝ දේ දියුණු කර ගන්න තිබෙනවා කියන එක. නමුත් මම ජපානයෙත් ලංකාවෙත් වැඩ හිඳීවි.

මම කවදාවත් රටට බැණ බැණ ද්වේශ කර කර යන තැනට පත්වෙන්නේ නැහැ.

නමුත් මම කැමතියි ධර්ම දේශකයෙක් ලෙස ලෝකය පුරාම සංචාරය කිරීමට. ජපානයට පමණක් නොවෙයි, යුරෝපය ඇතුළු තවත් රටවල්වලට ථෙරවාදී බුදුදහම ගෙනයන දූතයකු ලෙස මගේ ජීවිතයේ ඉතිරි කාලය ගතවිය යුතුයි. මම හැම තැනම ඉඳීවි, මම හැම තැනම නොඉඳීවි.

ප‍්‍රශ්නය – ඔබ වහන්සේගේ ශ‍්‍රාවක, ශ‍්‍රාවිකාවන්ට මේ අව්සථාවේදී මොකක්ද කියන්න තිබෙන්නේ,

පිළිතුර – මගේ දැනුමේ හැටියට ඉදිරි වසර දෙක තුළ ඉතාම දුෂ්කර ආර්ථික අර්බුදයකට මුහුණදීමට අපට සිද්ධ වෙනවා. අයි. එම්. එෆ් එකේ සහයෝගය ලැබුණත් එම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක වෙන්න තවත් මාස 6 ක් පමණ ගතවේවි.

ප‍්‍රශ්නය – එම බෙහෙත් තිත්ත වැඩි වේවි කියලා සමහරු කියනවා.

පිළිතුර – ඒක මම දන්නේ නැහැ. ඔවුන් ඉදිරිපත් කරලා තිබෙන කොන්දේසි මම දන්නේ නැහැ. නමුත් විනිවිදභාවය කොයි රටකටත් අවශ්‍යයි. ආධාර උපකාර කරන අය බලාපොරොත්තු වන්නේ විනිවිදභාවය නම් එක අපි දෙන්න ඕන. අපගේ රහස් හොර වැඩ සමග අපට සහයෝගය ලැබේවි කියලා සිතන්න තරම් අනුවණ වෙන්න බැහැ. නමුත් ඔවුන්ට අපේ ස්වාධීනත්වය, වටිනාකම්, අපේ රටේ ඒකීය භාවය, භෞමික අඛණ්ඩතාවය, ජාතීන් අතර සමගිය, පළුදු වන ආකාරයේ යෝජනා ඉදිරිපත් කිරීමට තරම් අවශ්‍යතාවයක් තිබේද කියලා මම දන්නේ නැහැ. අපි ස්වාධීන රටක් නිසා ඔවුන් මොනවා යෝජනා කළත් අපේ පාලකයන් දැනගන්න ඕනි ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට. ඔවුන් අපිව බලහත්කාරයෙන් යටත් කර ගන්නේ නැහැ. අපි අයි. එම්. එෆ්. එකට යනවා මිස එම අරමුදල අපේ ළඟට එන්නේ නැහැනේ. එම නිසා අපි දැන ගන්න ඕනි අපේ ස්වාධීනත්වය තබාගෙන බුද්ධිමත්ව කටයුතු කිරීමට.

තරුණ ළමයින්ට මට කියන්න තිබෙන්නේ ආර්ථික අර්බුදය තවදුරටත් පවතීවි. ඒත් දිනපතා ඉගෙන ගැනීම නතර කරන්න එපා. දැනුම දියුණු කරගන්න. විශේෂයෙන්ම තාක්‍ෂණික ක්‍ෂේත‍්‍රය තුළ කුසලතා ඇති අයකු බවට පත්වීමට කටයුතු කරන්න.

තරුණ පරපුර ඉපදිලා තිබෙන්නේම ඩිජිටල් ලෝකයක. ඔවුන් වැඩිහිටියන් බවට පත්වන්නෙත් ඩිජිටල් ලෝකයක. එම නිසා මම සිතනවා, තරුණ පරපුරට වැඩි අවස්ථාවක් තිබෙනවා, ආර්ථික ක‍්‍රියාවලිය සඳහා නව උත්පාදනයන් කිරීමට. ඔවුන් මූලික අධ්‍යාපනය මෙන්ම ඉංග‍්‍රීසි භාෂාව ඇතුළු වෙනත් භාෂාවන් හොඳින් ඉගෙන ගත යුතුයි. ඒ වගේම පරිගණක ක්‍ෂේත‍්‍රයේ ඔවුන් ඉහළටම යා යුතුයි. මොකද තාක්‍ෂණිකව සිදු කරන හැරවුමකින් මිසක ලංකාවට තිරසාර ආර්ථිකයක් අනාගතය සඳහා ගොඩනඟන්න බැහැ කියන එක තමයි මම පුද්ගලිකව විශ්වාස කරන්නේ. අපේ අනෙක් සියලූ දේවල් එක් සීමාවක නවතිනවා. එම නිසා අපේ තරුණ ළමයි වීර්යවන්තව ඉගෙන ගත යුතුයි.

තමන්ට අරමුණක්, ඉලක්කයක් තිබිය යුතුයි. තමන් ගැන සිතන්න. තමන් ගැන සිතන මිනිසුන්ට තමයි ලෝකයට යහපතක් කරන්න පුළුවන්. බුදුන් වහන්සේ දුකින් නිදහස් වූ නිසා තමයි අනෙක් අය දුකින් නිදහස් කළේ. ‘මම බුද්ධත්වයට පත්වෙමි’ කියලා බුදුන් වහන්සේ ප‍්‍රකාශ කළා. ඒ වගේම ‘අනෙක් අය අවබෝධයට පත් කරවමි’ කියලා දේශනා කළා. මුලින් තමන්ගේ ප‍්‍රශ්නය විසඳා ගත යුතුයි. තමන්ගේ දැනුම පිළිබඳ ප‍්‍රශ්නයක් තිබෙනවා නම් ඒක විසඳා ගන්න ඕනි. තමන්ගේ විනය පිළිබඳ ප‍්‍රශ්නයක් තිබෙනවා නම් ඒක විසඳා ගත යුතුයි. තමන්ගේ කුසලතා පිළිබඳ ප‍්‍රශ්නයක් තිබෙනවා. නම් එම කුසලතා දියුණු කර ගැනීමට කටයුතු කළ යුතුයි.

ඒ සඳහා කම්මැලි වෙලා බෑ. උදේ 8 වෙනකම් නිදාගෙන බැහැ. යම්කිසි දෙයක සාර්ථකත්වයක් අපේක්‍ෂා කරනවා නම් ඔබ ඊට උපරිම වශයෙන් දායක වෙන්න අවශ්‍යයි. අර්ධ කාලීන වශයෙන් කරලා බැහැ. අපි යම්කිසි දෙදයකට ලබාදෙන දායකත්වයේ ප‍්‍රමාණය අනුව තමයි එහි ප‍්‍රතිඵල අපට ලැබෙන්නේ. දෙන දේවල් තමයි අපිට ලැබෙන්නේ. අපි යම් දෙයකට දෙන දායකත්වය කොපමණද ඒ මට්ටමෙන්ම සාර්ථකත්වයක් ඔබට ලැබෙනවා. එතනදී පරද්දන්න තිබෙන්නේ කම්මැලිකම, අරමුණක් නැති ජීවන ක‍්‍රමය තමයි. එම බාධක පරාජය කළොත් රටේ ආර්ථික අර්බුදයක් තිබුණත් ගමන යන මනුස්සයා තමන්ගේ ගමන යනවා. තේරුම් අරන් කටයුතු කරන්න. එහෙම කටයුතු කළොත් තරුණ දූලා පුතාලට වරදීවි කියල මම සිතන්නේ නැහැ.

එරික් ගාමිණී ජිනපි‍්‍රය – දිවයින පුවත්පත.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x