විශේෂාංග

මානව සංහතිය ගලවාගත් නිහඬ වීරයා වසිලි ආර්කිපොව්

ගැඹුරු සාගර පතුලේ සබ්මැරීනයක නාවික නිලධාරීන් තුන්දෙනෙක් බොහොම තද විවාදයක. විවාදයකටත් වඩා ආවේගශීලී අදහස් හුවමාරුවක කිව්වොත් වඩාත් නිවැරදියි.

ඔක්තෝබර් මාසයේ මුහුදු වතුර කොහොමත් සීතලයි. විශේෂයෙන්ම උතුරු ආක්ටික් සාගරයේ වගේම.. ගැඹුරු අත්ලාන්තික් සාගරයේත් මේ කාලෙට මුහුද සීතලම සීතලයි.

මේ සීතල සාගර පතුලෙ ඕ59 සබ්මැරීන එකක් නෙවේ හතරක් බොහොම සීරුවෙන් රහසින් ගමන් කරනවා ඇමෙරිකා එක්සත් ජනපදය කිට්ටුවෙන්ම. මේ සබ්මැරීන් එන්නෙ උතුරු ආක්ටික් මුහුදෙ සෝවියට් රුසියාවට අයිති නොදන්න නාවික කඳවුරක ඉඳලා.

ඒ විතරක් නෙවේ එක මනුස්සයෙක් ඇරෙන්න අනිත් කවුරුවත් දන්නෙ නෑ එයාලගෙ ගමනාන්තය වගේම මේ සබ්මැරීන් අරගෙන යන්නෙ මොනවද කියලා.

ඒ අයට කියලා තිබුණු වෙලාව ආවම ඔබ යා යුතු තැන සඳහන් කරනවා. ඒ වෙනකල් දැනුම් දීලා තියෙන මාර්ගයේ යා යුතුයි කියලා. අනිත් කාරණේ මේ සබ්මැරීන්වලට උපදෙස් ලැබෙන්නෙ කෙළින්ම ක්‍රෙම්ලිනයේ ඉඳලා. හැමෝම දැනගෙන හිටිය මේක හරි භයානක ගමනක් කියලා.

මේ හැම යාත්‍රාවකම නායකයා එහෙමත් නැත්නම් කැප්ටන්ට වගකීමක් පවරල තිබුණා. ඒ තමයි ඕනෑම හදිසි යුද තත්ත්වයකදී, නියෝග එනකල් නොසිට ක්‍ෂණිකව පහර දීමේ වගකීම.

මේ සබ්මැරීන හැම එකකම න්‍යෂ්ටික බලය තියෙන ටෝපිඩෝවක් (Torpédo) තියෙනවා. යුද ගැටුමක් ඇතිවුණොත් ඒ ආයුධයෙන් පහර දෙන්න පුළුවන් නිලධාරීන් තුන්දෙනෙක්ගේ එකඟතාවයෙන්.

මොකද්ද මේ ටෝපිඩෝව කියන්නෙ.

ටෝපිඩෝවක් කියන්නෙ වතුර යට ඉඳලා වෙනත් සබ්මැරීන්වලටත්, නැව්වලටත් පහර දෙන්න පුළුවන් මිසයිලයක් කියලා අපි සරලව තේරුම් ගමු.

හැබැයි මේ ටෝපිඩෝවල න්‍යෂ්ටික බලය දෙවැනි ලෝක යුද්ධයේදී ජපානයේ හිරෝෂිමා නුවරට අතහැරපු න්‍යෂ්ටික බෝම්බය තරම්ම ප්‍රබලයි විනාශකාරීයි.

එතකොට කවුද මේ නිලධාරීන් තුන්දෙනා න්‍යෂ්ටික බලය තියෙන ටෝපිඩෝවෙන් ප්‍රහාර එල්ල කරන්න තීරණය කරන.

ඒ තමයි. මේ සබ්මැරීන හතරෙ කණ්ඩායමේ ප්‍රධාන නාවික නිලධාරියා හෙවත් චීෆ් ඔෆ් ස්ටාෆ්. අදාළ සබ්මැරීනයේ අණදෙන නිලධාරියා සහ රජය නියෝජනය කරන නිලධාරියා.

මේ වගේ වගකීමක් පළපුරුදු නාවික නිලධාරියෙක්ට වුණත් දරා ගන්න පහසු නෑ.

ඇමෙරිකා එක්සත් ජනපදය කිට්ටුවට එන්න මේ අය වෙහෙසකාරී හැතැප්ම 7000 කට අධික දුරක් ගෙවලා තියෙනවා.

මේ 1962 අවුරුද්ද. මාසය ඔක්තෝබර්

මේ අයගෙ ගමනාන්තය තමයි කියුබාව. ඒ අයගෙ රාජකාරිය තමයි ඇමෙරිකා එක්සත් ජනපදයට පහර දිය හැකි මිසයිල කියුබාවේ ස්ථානගත කිරීම.

ඒ මොකටද?

ඒකට හේතුව තමයි 1959දී සිදුවූ කියුබා විප්ලවයත් එක්කම කියුබාව සමාජවාදී රජයක් බවට පත්වීම.

මේ විප්ලවයත් එක්කම කියුබාව සෝවියට් සමූහාණ්ඩුවේ මිතුරෙක් බවටත් ඇමෙරිකා එක්සත් ජනපදයේ සතුරෙක් බවටත් පත්වෙනවා.

කියුබාව පිහිටලා තියෙන්නෙ ඇමෙරිකානු බිමට හැතැප්ම 400ක් වගේ ළඟින්. ඒ කියන්නෙ කියුබාවෙ ඉඳලා ඉතාම ලේසියෙන් ඇමෙරිකාවට මිසයිල ප්‍රහාර එල්ල කරල විනාශ කරල දාන්න පුළුවන්.

මේ කාලෙ ඇමෙරිකානු ජනාධිපති තමයි ජෝන් එෆ් කෙනඩි.

කෙනඩි තීරණය කරනවා කියුබාවට පහර දෙන්න. හේතුව මේ කොමියුනිස්ට් අසල්වැසියත් එක්ක ජීවිතේ ගෙවන එක ලේසි නෑ කියල එයාගෙ උපදේශක මණ්ඩලයේ උපදෙස් ලැබීම.

ඒ වුණාට 1961 අප්‍රේල් මාසෙදී ඉතාම අසාර්ථක උත්සාහයකින් ඇමෙරිකානුවෝ පහු බහිනවා.

මේකට තමයි කියන්නෙ ඔපරේෂන් පිග් බේ කියල.

මේ අසාර්ථක ප්‍රහාරයත් එක්කම කියුබාවත් සෝවියට් දේශයත් තේරුම් ගන්නවා ඇමෙරිකානුවො කොයිම වෙලාවක හරි කියුබාව ආක්‍රමණය කරයි කියලා.

මෙන්න මේ ආක්‍රමණයෙන් වැළකෙන්න තමයි සෝවියට්වරු න්‍යෂ්ටික මිසයිල කියුබානු බිමේ ස්ථානගත කරන්න තීරණය කරන්නෙ.

දැන් අපි දන්නවා මේ තරම් අෑත ඉඳලා මේ සබ්මැරීන් හතර අත්ලාන්තික් සාගරයට එන්නෙ මොකද කියලා.

සෝවියට් රුසියාව තමන්ට කිලෝමීටර් 9000 කට දුරින් තියෙන කියුබාවට දේශපාලන හා ආරක්ෂක රැකවරණ දෙන්නෙ මොකද?

ඒක තමයි ලෝක දේශපාලනය.

ඒක තමයි ලෝකයේ බල අරගලය.

මේ විදිහටම තමයි ඇමෙරිකානුවන් තුර්කියේ මිසයිල ස්ථානගත කළේ සෝවියට් දේශය ඉලක්ක කරලා.

ඇමෙරිකානුවන් බොහොම සෙවිල්ලෙන් ඉන්නෙ කියුබාව අවට මුහුද ගැන.

කියුබාව හා ඇමෙරිකාව අතර මුහුදේ මුර රාජකාරිවල යෙදිලා ඉන්න ඇමෙරිකානු නාවික යාත්‍රාවලට දැනෙනවා අමුතු රේඩියෝ සිග්නල් හුවමාරුවක් තමන්ගෙ කලාපෙ සිද්ධ වෙනවා කියලා.

මේ අය සැක කරනවා තමන්ගෙ නැව් යාත්‍රාවලට යටින් සබ්මැරීන් ගමන් කරන බවට.

මේ අය මොකද කරන්නෙ. දිගට හරහට ඩෙප්ත් චාජර් අතාරිනවා මුහුදට.

ඩෙප්ත් චාජර් කියන්නෙ මුහුදෙ ගැඹුරට අතාරින බෝම්බ විශේෂයක්.. විශේෂයෙන්ම සබ්මැරීන්වලට පහර දෙන්න නිර්මාණය කරපු.

දැන් මොකද වෙන්නෙ..?

මුහුද යට ඉන්න සබ්මැරීන් බොහොම තද අනතුරකටයි මුහුණ දෙන්නෙ.

ඒ අය ඩෙප්ත් චාජර්වලින් බේරෙන්න මුහුදෙ පතුලෙ ගැඹුරටම යනවා.

මේ හේතුව හින්දම ක්‍රෙම්ලිනය එක්ක පණිවිඩ හුවමාරුවත් ඇනහිටිනවා.

මේ වෙලාවෙදි තමයි චීෆ් ඔෆ් ස්ටාෆ් හෙවත් කණ්ඩායමේ අණදෙන නිලධාරියා ඉන්න සබ්මැරීනයේ කපිතාන් තීරණය කරන්නෙ න්‍යෂ්ටික ටෝපිඩෝවෙන් පහර දීලා මේ ඇමෙරිකානු යාත්‍රා විනාශ කළ යුතුයි කියලා.

ඒ තීරණය තව දෙන්නෙක් අනුමත කරන්න ඕනෙ බව අපි දැන් දන්නව. රජයේ නිලධාරියා එක පයින් මේ තීරණය අනුමත කළත් කණ්ඩායමේ අණදෙන නිලධාරියා මේකට කැමති වෙන්නෙ නෑ.

කණ්ඩායමේ අණදෙන නිලධාරියා තමයි අද්මිරාල් වසිලි ආර්කිපොව්.

ආර්කිපොව් කියන්නෙ ඉතාම දක්ෂ නිලධාරියෙක්. අනිත් නිලධාරීන්ට වඩා තරමක් කනිෂ්ඨ වුණත් මීට කලින් පෙන්නපු දක්ෂකම් නිසා එයාගෙ ප්‍රතිරූපය හරි බලසම්පන්නයි.

නමුත් අනිත් නිලධාරීන් දෙන්න තර්ක කරනවා වහාම පහර දිය යුතුයි කියලා.

වසිලි ආර්කිපොව් හොඳින්ම දන්නවා එක බොත්තමක් තද කරලා එක පාරින් ඇමෙරිකානු යාත්‍රා විනාශ කරන්න පුළුවන් වුණත් මේ බොත්තම තුන්වැනි ලෝක යුද්ධයේ ආරම්භය බව.

ඒ විතරක් නෙවේ. මේ පටන් ගන්නෙ න්‍යෂ්ටික යුද්ධයක්. ඒක බොහෝ විට මිනිසාගේ අවසානය වෙන්න පුළුවන්.

එයා කියන්නෙ තව ඉවසිය යුතුයි. ඉඩක් ලැබුණු වහාම ක්‍රෙම්ලිනයෙන් උපදෙස් ගත යුතුයි කියලා.

මෙන්න මේකයි සීතල මුහුදේ නිලධාරීන් තුන්දෙනාගේ වාදය.

තීරණාත්මක මිනිත්තු ගණනාවක් ගත වෙනවා. ඩෙප්ත් චාජර් හෙවත් බෝම්බ ප්‍රහාර ටිකෙන් ටික අඩු වෙනවා.

නමුත් අධික ගැඹුරේ වැඩි වෙලාවක් ඉන්න මේ අයට හැකියාවක් නෑ.

අධික උෂ්ණත්වයෙන් සබ්මැරීන නාවිකයන් හෙම්බත් වෙද්දි, අන්තිමේදි මේ යාත්‍රා මුහුද මතුපිටට එන්නෙත්, නැවත සැරයක් සෝවියට් රුසියාව බලා පිටත්ව යන්නෙත් මුළු ලෝකයේම වාසනාවට.

සමහර වාර්තා සඳහන් කරන්නෙ ඇමෙරිකානු නාවික හමුදාව විසින් සෝවියට් යාත්‍රාවලට ආපහු ගමන් කරන්න ඉඩ සලසා දුන්න කියලයි.

ආපහු තමන්ගෙ රටට ගිය ගමන් මේ අයව ක්‍රෙම්ලිනයට කැඳවනවා.

මේ නිලධාරීන්ට වෙන වෙනම විනය පරීක්ෂණ පැවැත්වෙන්නෙ තදබල ‍ෙදා්ෂාරෝපණ එක්කයි.

ලෝක විනාශය වැළැක්වීම ගැන සම්මාන හා ප්‍රශංසා වෙනුවට කෙළවරක් නැති පරීක්ෂණවලට මුහුණ දෙන්නයි ආර්කිපොව්ට සිද්ධ වෙන්නෙ.

විශේෂයෙන්ම උපදෙස් හා අණ නොපිළිපැදීම ගැන වසිලි ආර්කිපොව් දඬුවම් ලබනවා.

සෝවියට් නිලධාරීන් ලෝකයට කියන්නෙ ඩීසල් සබ්මැරීන හතරක් කියුබාවේ පුහුණු සංචාරයකට ගියපු බවයි.

වැලන්ටින් සවිට්ස්කි (Valentin Grigorievitch Savitsky, සහ ඉවාන් මස්ලෙනිකොව් (Ivan Semonovich Maslennikov) තමයි න්‍යෂ්ඨික ප්‍රහාරය වහාම දියත් කරන්න ඕනෙ කියල තීරණය කරපු නිලධාරීන් දෙන්නා.

නමුත් 2002 අවුරුද්දේදී විශ්‍රාම ගිය සෝවියට් අද්මිරාල්වරයෙක් ( Vadim Pavlovich Orlov) ප්‍රධාන පෙළේ පුවත්පත් සාකච්ඡාවකදී ලෝකයට හෙළි කරනවා ඇත්තටම සිද්ධ වුණු දේ.

ඒ වෙනකොට ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් වූ රොබට් මැක්නාමරා කියනවා.

අපි සෙන්ටි මීටරයක් දුරින් හිටියෙ ලෝක විනාශෙට. ඒ විනාශය වළක්වපු වසිලි ආර්කිපොව්ට මුළු ලෝකයේම ආදරයත් ගෞරවයත් ලැබෙන්න ඕනෙ කියලා.

1962 සිද්ධියෙන් පස්සෙත් දිගටම සේවයේ යෙදුණු අර්කිපොව් අසූව දශකය වෙනකල්ම නාවික සේවයේ යෙදෙනවා.

1988 අගෝස්තු දහනව වැනිදා ඒ විශිෂ්ට මනුස්සයා මිය යන තෙක්ම එයාට හිමි ගෞරවය ලෝකයෙන් ලැබුණෙ නෑ.

නමුත් හමුදා නිලධාරියෙක් විදිහට කිසිම දවසක එයා ඒ ගැන කිසිම සඳහනක් කළේ නෑ.

1926 දී දුප්පත් ගොවි පවුලක ඉපදුණු වසිලි මියයද්දි පෙණහලු හා වකුගඩු පිළිකාවකින් පීඩා වින්දෙ න්‍යෂ්ටික සබ්මැරීනවල දිගු කාලයක් සේවය කළ නිසාත්, 1961 දී මුහුණ දුන් අනතුරත් හේතු කොටගෙනයි.

පහු කාලෙකදී එයාගෙ බිරිය කිව්වෙ “වසිලි ලෝකය බේරගත් බව මම දැනගෙන හිටියෙ නෑ.

රාජකාරිය හරියට නොකළ නිසා සුළු දඬුවමක් ලැබුණු බව විතරයි එයා කීවෙ. ඒ එයාගෙ හැටි.”

වසිලි ආර්කිපොව් බොහොම නිහඬ. ආචාරශීළී මනුස්සයෙක් විදිහටයි හැමෝම දන්නෙ.

එදා ක්‍රෙම්ලිනයට පුළුවන් වුණා නම් මේ සබ්මැරීන් අමතන්න.

වසිලි එකඟ වුණා නම් ටෝපිඩෝ ප්‍රහාරය දියත් කරන්න. මේ කියවන ඔබවත්. මේ ලියන මමවත් ජීවත්ව නොඉඳීවි.

වසිලි වගේ සැබෑ වීරයො ඉන්නෙ පොඩ්ඩක් පැත්තකට වෙලා.

ස්ටාලින්, රේගන්, ට්‍රම්ප්, පුටින් වගේ කාඩ් බෝඩ් වීරයො ඉස්සරහ මල් මාලා වැටෙද්දී වසිලි වගේ මිනිස්සු නිහඬවම තමන්ගෙ යුතුකම ඉටු කරලා යන්න යනවා.

එදා වගේම අදත් අපි ඉන්නෙ අර න්‍යෂ්ටික බෝම්බෙ පුපුරවන බොත්තමට බොහොම ළඟින්.

කරුණු කාරණා තේරුම් ගන්න බැරි පොඩි ඔළු තියෙන මිනිස්සු අහනවා ඇයි යුරෝපය බය, ඇයි ඇමෙරිකානුවන් හෝ නේටෝව පහර නොදෙන්නෙ.

ඒ වගේම කරුංක ගෙඩියක් තරම් මොළයක් නැති මෝඩ මිනිසුන් පුටින් මහත්තයාට වර්ණනා ලිපි ලියනවා මේ කරන අලුගුත්තේරු වැඩවලට.

ඇයි බලය ඇති මිනිස්සු ඉවසන්නෙ. ඒ මෝඩ දේශපාලකයො අතර කල්පනා කරන්න පුළුවන් වසිලි වගේ මිනිස්සු කිහිප දෙනෙක් ඉතිරි වෙලා ඉන්න නිසයි. එක මෝඩ තීරණයකින් ලෝකයම අළු වෙලා යන්න පුළුවන් කියල දන්න. තේරුම් ගත්ත නිලධාරීන් නායකයන් කීප දෙනෙක් හරි ඉතුරු වෙලා ඉන්න නිසා විනාශකාරී ලෝක යුද්ධයකින් අපි දැනට ගැලවිලා ඉන්නවා.

අවුරුදු කීපයකට කලින් උතුරු කොරියානු නායකයා කියනවා ඇමෙරිකාව අළු කරන්න පුළුවන් බොත්තමක් මගෙ ළඟ තියෙනවා කියලා. ඒකට පිළිතුරු දුන්නු ඇමෙරිකානු ගොබ්බ නායකයා කියනවා මගෙ බොත්තම උඹගෙ බොත්තමට වඩා ලොකුයි.. ඒක එබුවොත් උඹලා ඔක්කොම අළු වෙයි කියලා.

මේ මෝඩ මිනිස්සු තේරුම් ගන්නෙ නෑ මේ අළු වෙන්නෙ මුළු ලෝකෙම කියලා.

මෙන්න මේ වගේ මෝඩ නායකයෙක් නිසා යුක්‍රේන් වැසියන් මේ මොහොතෙදිත් කළුවරේ හීතලේ ඉන්න තැනක් හොයනවා.

වසිලි ආර්කිපොව් වගේ සැබෑම මිනිස්සු නිසා අපි තවමත් ජීවත් වෙනවා.

Vasily Arkhipov වසිලි අර්කිපොව්.. 1926-1988

වසිලි ස්තුතියි..

Melcolm Sang-FB

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x