තරු කතා

හිතගිය ගෑනු ළමයි හිටියට​ ප්‍රේම කතා තිබ්බෙ නැහැ

ඉස්කෝලේ කාලේ විශේෂාංගයෙන් මෙවර සඳැල්ල හා එකතු වෙන්නේ මේ දිනවල පාර දිගේ නාට්‍යයේ බණ්ඩාගේ චරිතයෙන් වැඩි කතාබහකට ලක්ව සිටින චරිතයකි. ඔහු නමින් කුසල් මධුරංග.

මම ඉස්කෝල දෙකකට ගියා. ඒ ගෝනපොල පාලන්ඔරුව මධ්‍ය විද්‍යාලයටත් හොරණ විද්‍යාරත්න විද්‍යාලයටත් මගේ ප්‍රාථමික අවධිය ගතවුණේ ගෝනපොල පාලන්ඔරුව විද්‍යාලයේ. ඒ පාසලට මම මුලින්ම ගිය දවස මට හොඳට මතකයි. ඉස්කෝලෙ යන්න බෑ කියලා මම හොඳටම ඇඬුවා. ඒ කාලෙ මම එච්චර සමාජශීලි චරිතයක් නෙමෙයි. අහිංසක විදියට තමයි හිටියෙ. වැඩි දක්ෂතා දක්වපු කතාබහට ලක්වුණු කෙනෙකුත් නෙමෙයි.

5 වසරෙන් පස්සෙ 6 වසරට මම හොරණ විද්‍යාරත්න විද්‍යාලයට ඇතුළත් වුණා. එතනින් පස්සෙ තමයි මගේ ජීවිතේ වෙනස් වෙන්නෙ. මොකද විද්‍යාරත්න විද්‍යාලය කියන්නෙ කලාවට වැඩි සම්බන්ධතාවක් තියෙන පාසලක්නෙ. ධර්මසිරි බණ්ඩාරනායක, හේමසිරි ලියනගේ, චන්ද්‍රසේන දසනායක, ලාල් කුලරත්න වගේ විශිෂ්ට කලාකරුවන් සාහිත්‍යකරුවන් බිහිවුණෙත් මේ පාසලෙන් තමයි.
මටත් මේ පාසලට ඇතුළත් වුණ කාලවකවානුවේම රංගනයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ මම 6 වසරෙදිම. අපි 6 වසරේදි ජීවන නිපුණතා කියලා විෂයක් තිබුණා. ඒ විෂය උගන්වපු සහ ඒ විෂය භාර ගුරුවරු වුණ විදුර අබේනායක සර් සහ ලලිත් ප්‍රියදර්ශන සර් නාට්‍යයක් කළා ‘අඳුරෙන් එළියට’ කියලා. ඒ නාට්‍යයට ළමයින්ව තෝරද්දි මගේ යාළුවෙක් මටත් යන්න කියලා මාව තල්ලු කළා. ඉතින් මමත් ඒ වෙනුවෙන් සම්බන්ධ වුණා. එතැන් පටන් තමයි මම රංගනයට සම්බන්ධ වුණේ.

ඒ වගේම සාහිත්‍ය සමිති, විවාද තරග, නාට්‍ය තරග, කථික තරග හැමදේටම සම්බන්ධ වුණා. ශිෂ්‍ය සමිති ළමා පාර්ලිමේන්තුවට සම්බන්ධ වුණා. ඒ දේවල් තුළින් තමයි සැඟවිලා මුළුගැන්විලා හිටපු කුසල්ව ඉලිප්පිලා එන්නෙ. ඒ වගේම ළමා පාර්ලිමේන්තුවෙ ඡන්දෙ ඉල්ලුවා. ඒ හැමදේකින්ම ඉස්කෝලෙ ජනප්‍රිය චරිතයක් වෙලා හිටියා.

මම ඇත්තටම ඉස්කෝලෙ කලා වැඩකටයුතුවලට යොමු වෙලා හිටියත් වලි දාගන්නෙ ඒ වගේ දේවල් නැහැ. ගුරුවරුන්ගෙන් ගුටි කාල දඬුවම් විඳලා නැති තරම්. මදාවි වැඩවලට සම්බන්ධම නැහැ. ඉස්කෝලෙ වැඩ ටිකත් පිළිවෙළට කළා. ජොලියට පීරියඩ් එකක් දෙකක් කට් කරලා එහෙම තියෙනවා. ඒවාත් ඉතින් ලොකුවට නැහැ. වැඩිපුරම ආස කරපු විෂය නාට්‍ය හා රංග කලාව තමයි. ඒ විෂය නම් කට් කරලා නැහැ. කැමැතිම විෂය නිසා. අකමැත්තෙන්ම හිටියෙ ගණිතය විෂයට තමයි.

ඒ කාලෙ ඇත්තටම අනවශ්‍ය වැඩ ලොකුවට කරන්න ගියෙත් නැහැ. පාසල් ප්‍රේම කතා එහෙම තිබිලත් නැති තරම්. ලොකු කතන්දර තියෙන පාසල් ප්‍රේමයක් තිබුණෙ නැහැ. හිතේ තිබුණු හිත ගිය ගෑනු ළමයි නම් දෙතුන් දෙනෙක් ඉඳලා තියෙනවා. නමුත් ඒවා ප්‍රකාශ කරලා නැහැ. මොකද මම පිරිමි ළමයි විතරක් ඉන්න ඉස්කෝලෙකටනෙ ගියෙ. ඒ හින්දම ගෑනු ළමයි එක්ක කතා බහ කරන්න ඒ කාලෙ පොඩි බයකුත් තිබුණා. ඒත් අපි යාළුවන්ගෙ ලව්වලට නම් උදව් කරපු අවස්ථා තිබුණා. ඒ සමහර ඒවා අද විවාහය දක්වාම දුර ගිහින් හොඳ තැන්වල තියෙනවා. අපි විහිළු කරලා කෙල්ලො කොල්ලො සෙට් කරපුවා ගොඩගිහින් තියෙනවා. ඇත්තටම ඒ දේවල් මතක් වෙද්දිත් දැන්නම් හිනා යනවා. ඉස්කෝලෙ යාළුවො එක්ක කරපු පිස්සු වැඩ නම් ගොඩක් තියෙනවා. පාර තොටේ, ටවුන් එකේ, බස්වල ඒ ගෙවපු අතීතෙ සුන්දර මතකයන්. ඒ සමහර දේවල් පත්තරේකට කියන්නත් බැරි තරම්. මතක් කර කර හිනාවෙන්න පුළුවන් සිදුවීම්.

යාළුවො එක්ක වගේම අපි අපේ ගුරුවරු එක්කත් හරිම ජොලියෙන් හිටියෙ. සමහර ගුරුවරු යාළුවො වගේ හරිම එකමුතුයි අපිත් එක්ක. මට හොඳම යාළුවෙක් කියල කෙනෙක් කවදාවත් හිටියෙ නැහැ. යාළුවො ගොඩක් හිටියා. ඒ හැමෝම එක්ක හරිම ජොලියෙන් සතුටින් හිටියෙ.

ඉස්කෝලෙදි පීරියඩ් එකක ගුරුවරයෙක් ආවෙ නැති වුණාම එහෙම අපිට මාරම ජොලි. අපි කරන්නෙ ඒ වෙලාවට සින්දු කියනවා, නටනවා.

අදත් ඉඩක් ලැබෙන ගොඩක් වෙලාවට මම ඉස්කෝලෙට යනවා. අපේ ඉස්කෝලෙ පිරිවෙණක්නෙ. ඉතින් අපි හරිම කැමතියි ඒ පන්සලට ගිහින් එන්න. ඒ තැන දකිද්දි හිතට දැනෙන්නෙ මාරම සැනසීමක්. ඒ වගේම ගෞරවයක් ආඩම්බරයක්.
අපි හදපු තැන. ගොඩනගපු තැන ජීවිතේ අත්දැකීම් ගොඩක් ලබාගත්තා. ඒ දේවල් මිල කරන්න බැහැ. ජීවිතේ සුන්දරම කාලයක්. අායෙත් යන්න තියෙනව නම් කියලා හිතෙනවා.

ධනු විජේරත්න – සජීව ලක්ෂාන්.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x