විශේෂාංග

සුද්දාට ශ්‍රීමහා බෝධිය හඳුන්වාදුන් විහාරගම් නවයේ මිනිස්සු

මෙරට බෞද්ධ ජනයාට අනුරාධපුරයේ වැඩ වසන ශ්‍රී මහා බෝධීන් වහන්සේ අති පූජනීය ශුද්ධ වස්තුවකි. අනුරාධපුර රාජධානිය සොලී ආක්‍රමණ හමුවේ මිනිස් වාසයෙන් තොරව ගණ කැලෑවෙන් වැසීගොස් ශත වර්ෂ 4ක් පමණ ගතවිය. ඉංග්‍රීසින් මහනුවර සිට ත්‍රිකුණාමලය මහා මාර්ගය ඉදිකරන ලද්දේ මෙම ගණ වනාන්තරය මැදිනි. එහිදී නගරයක නටබුන්, මාළිගා, චෛත්‍යයන් ආදී පූජනීය වස්තූන් ඔවුනට හමුවිය. ඒ අතුරතුර මහ වනයේ හුදකලාව ජීවත් වූ මිනිස් කොටසක් වූහ. ඒ විහාර ගම් නවයේ මිනිසුන්ය. රට තොට වනයෙන් වැසී ගියද ඔවුහු මහබෝ මැඩ ආරක්ෂා කළහ. එයට දෛනික වතාවත් සිදු කළහ. රාත්‍රී කාලයට ගිනිමැල ගසා වනඅලි හානි වැළැක්ලූහ. අවසානයේ ශ්‍රී මහා බෝධිය සුද්දාට මෙන්ම ලක්වැසියනටද නැවත හඳුන්වා දුන්හ.

සිංහලයේ දේවානම්පියතිස්ස යුගයේ මෙරට තුළ ඓතිහාසික වශයෙන් වැදගත් සිදුවීම් දෙකක් ඇතිවිය. ඉන් පළමුවැන්න ඉන්දියාවේ අශෝක අධිරාජයාගේ පුත් වූ මිහිඳු මහ රහතන් වහන්සේගේ පැමිණීම සහ මෙරට බුදු සසුන පිහිටුවා ලීමයි. දෙවැන්න ක්‍රි.පූ. 246 දී අශෝක අධිරාජයාගේ දියණිය වූ සඟමිත් මහා තෙරණින් වහන්සේ බෝ සමිඳුන් වැඩම කරගෙන ගයාවේ සිට සිංහලේට පැමිණීමයි.

අනුරාධපුරයේ වැඩවසන එම බෝධීන් වහන්සේ ඉතිහාසයේ සඳහන් පැරණිම වෘක්ෂය බව මහාචාර්ය ඩබ්ලිව්.අයි. සිරිවීර මහතා සඳහන් කරයි. සිදුහත් තව්සා බුද්ධත්වයට පත් වූ බුද්ධගයාවේ සිට බෝ සමිඳුන් සිංහලේට වැඩමවාගෙන ඒම පිළිබඳ සිද්ධිය වීදිසාවේ (උජ්ජේනියේ) සාංචි ස්ථූපයේ නැගෙනහිර දොරටුවේ තොරණෙහි කැටයමකින් නිරූපණය කර ඇත. මෙම ස්ථූපය නිර්මාණය කර ඇත්තේ ක්‍රි.පූ. පළමු සියවසේදීය.

අනුරාධපුරයේ මහා විහාරයේ භික්ෂූන් විසින් ලියන ලද සීහලට්ඨ කතා ඇසුරින් සිංහලෙන් ලියන ලද පරිච්ඡේද 37කින් යුත් මහාවංශය හයවැනි ශත වර්ෂයේදී ධාතුසේන රජුගේ දෙමළ බිසවකගේ පුතෙකු වූ මහානාම තෙරුන් එය පාලි භාෂාවට පරිවර්තනය කර ඇත. ඉන්පසුව පරිච්ඡේද පොළොන්නරුව, දඹදෙණිය සහ මහනුවර යන යුගවලදී එවකට රාජ්‍ය අනුග්‍රහය ලැබූ යතිවරුන් විසින් පාලි භාෂාවෙන්ම රචනා කොට ඇත.

මහා වංශයෙහි මහ බෝ සමඟ පවුල් දහඅටක මහ පිරිවර සමඟ සඟමිත් තෙරණිය මෙරට වැඩි අයුරු විස්තර කර ඇත. ගෛගර් පඬිවරයාගේ මහාවංශ සංස්කරණයේ මෙන්ම ආචාර්ය ඩබ්ලිව්.ඒ. ගුරුගේ මහතාගේ මහාවංශ සංස්කරණයේද මෙම පිරිස් පිළිබඳව විස්තර කෙරේ. මහාචාර්ය එස්.බී. හෙට්ටිආරච්චි මහතා සඳහන් කරන්නේ භාරතයේ මෞර්ය සභ්‍යත්වයේ රන්මය යුගය ලෙස සැලකෙන අශෝක අධිරාජයාගේ යුගයේ සම්මානනීය වූ ජනයා අතරින් මෙම පිරිස් තෝරාගෙන ලංකාවට එවා ඇති බවයි.

සඟමිත් තෙරණිය සමඟ පැමිණි මෙම ගෞරවනීය පිරිස්වල සංඛ්‍යාව විවිධ ලේඛනවල එකිනෙකාට වෙනස් ලෙස දක්වා ඇති බව හෙට්ටිආරච්චි මහතා පවසයි. මහා වංශයෙහි 86ක් ලෙසද පාලි බෝධි වංශයෙහි මෙන්ම සිංහල බෝධි වංශයෙහිද 210 ක් ලෙසද සමන්තපාසාදිකාවේ එම ගණන 66ක් ලෙසද සඳහන් කර ඇතැයි ඒ මහතා පවසයි. මෙයින් බෝධි වංශය ගම්පොල යුගයේදී ලියැවුණි. විල්ගම්මුල මාහිමියන් ලියන ලද සිංහල බෝධිවංශයට මුල්වූයේ පාලි බෝධිවංශයයි. ඒ බව එහි සඳහන් කර ඇත. එසේම පාලි බෝධි වංශය ලියා ඇත්තේ සිංහල බෝධි වංශයත් මුල් කරගෙනය. එය වර්තමානයේදී දක්නට නොමැත.

මහාවංශයෙහි සඳහන් පරිදි දේව කුල දහඅටක්ද (දෙසට දේව කුලානි) ඇමැති කුල අටක්ද බ්‍රාහ්මණ කුල අටක්ද වෛශ්‍ය කුල අටක්ද, ගොපලු, කුලිංග, පේෂකාර්, කුම්භකාර් යන කුලයන්ද සේනා සම්බන්ධ කුලයන්ද නාග කුලයන්ද බෝධිය සමඟ මෙරටට පැමිණියේය. වැඩවසම් සමාජ ක්‍රමයක් නොතිබුණු නිසා කුල වශයෙන් මෙහි සඳහන් කර ඇත්තේ පවුල් සහ ශිල්ප ශ්‍රේණියන්ය.

බෝධියේ ආරක්ෂක කටයුතු සහ වතාවන් සිදු කිරීම සඳහා විහාර පාලන ගම් ඇති කොට ඒවායේ පිරිස් පදිංචි කරවූහ. සන්නස් මඟින් එම වැසියන්ට ගම්වරයන් ලබා දුන්නේය. බෝධියේ උඩමළුවේ භාරකාරීත්වය සඳහා මහයා කෙනෙකු තෝරා ගන්නා ලද්දේ මෙම විහාර පාලන ගම්වල වැසියන්ගේ ඡන්දයෙනි. මෙම ගම් නවයේ පදිංචි වූ පවුල් සංඛ්‍යාව එකලද 225 ක් විය. දේවානම්පියතිස්ස යුගයේ සිට ක්‍රි.ව 1989 දක්වාම මෙම සිරිත පැවතී ඇත. මෙම පිරිස් මුල්කාලයේදී පදිංචිව සිටියේ තිසාවැව අවටය. උඩරට වඩුග රජෙකු වූ කීර්ති ශ්‍රී රාජසිංහ යුගයේදී ඔහුගේ කාපිරි හමුදාවේ කුරිරු මර්දනය නිසා මෙම පිරිස් ඉන් ඉවත්ව කැලෑව තුළට ගොස් නව ගම්මාන ඇතිකර ගත්හ. නූතනයේ එම ගම් හඳුන්වන්නේ විහාර පාලුගම් වශයෙනි.

එම ගම් නවය වන්නේ විහාර පාළුගම, විහාර හල්මිල්ල, විහාර බුලංකුලම, විහාර කලංචිය, විහාර මැදවච්චිය, විහාර කැප්පෙට්යාව, විහාර ඉලුප්පුකුලම සහ විහාර පුලියම්කුලමය. සිංහල රජවරු කිසිවිටෙකත් විහාර හා ආරාමවල දේපොළ පාලනය සඳහා භික්ෂූන් පත් නොකළහ. මුල්කාලයේ සිට පැවති එම පාලන ක්‍රමය ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා දහවැනි ශත වර්ෂයේදී මිහින්තලා ආරු ලිපිය පිහිටුවන ලදී. වෙහෙර් පිරුවහනා, කරඩ්ලෙයා, ජෙට්පවු, අන්සවු වැනි ගිහි තනතුරු පිහිටුවන ලදහ.

වැලිවිටියේ සෝරත හිමියන් ”මහයා” යන පදයට අරුත් සපයා ඇත්තේ මහා ආදිපාල, මහ ඈපා, යුවරජ වශයෙනි. මහාචාර්ය බරුවා මහතා පවසන්නේ මහයා යන්න මහා+ආර්ය දෙපදයෙන් සැකසුන බවය. බෝධි වංශයට අනුව බෝධිය සමඟ පැමිණි පිරිස් ලෙස රජ කුල 8ක්, සිටු කුල 8ක්, බමුණු කුල 8ක්, සහස් කුල 8, කිලිඟු කුල 8ක්, කපු කුල 8ක්, බලත් කුල 8ක්, පෙහෙර කුල 8ක්, වඩු කුල 8ක්, සින්නර් කුල 8ක්, උයන්ගොවු කුල 8ක්, කුඹල් කුල 8ක්, මල්කරු කුල 8ක්, ඕසදවටු කුල 8ක්, සන්නාලි කුල 8ක්, අරක්කැමි කුල 8ක්, කඹුරු කුල 8ක්, ලෝකුරු කුල 8ක්, ස්වර්ණකාරි කුල 8ක්, බෙරවා කුල 8ක් සහ සක්කුකුර් කුල 8ක් සඳහන් කර ඇත. තවද රාජ වංශික බිසෝවරු හතර දෙනෙකුද බෝධියට මගදී පැං වැඩීම සඳහා රන්කෙණ්ඩි 8ක් ද, සුවඳ දියර ඉසීමට මැණික් කෙණ්ඩි 8ක්ද, භික්ෂුණීන් එකොළොස් නමක්ද සඳහන් කර ඇත.

ඉහත ලේඛනයේ රාජවංශික බිසෝවරුන් සහ භික්ෂුණීන් හැර සෙස්සෝ බෝධිය ආරක්ෂක පිරිස්ය. දේවානම්පියතිස්ස යුගයේදී මහයා තනතුර රාජ කුමාරයකු සතුවිය. බෝධිගුප්ත සහ සුමිත්තගෙන් පසු එම තනතුර දරන ලද්දේ විධුරින්ද කුමරුන්ය. ඒ බව බෞද්ධ කොමසාරිස්තුමා සිය වාර්තාවේද සඳහන් කර ඇත. ලම්භකර්ණ වංශික රාජ කුමාරවරුන්ගේ වඳ වී යාමත් සමඟ බෝධි ආරක්ෂක ගම් නවයේ මිනිසුන් විසින් මහයා කෙනෙකු තෝරාගෙන බෝධි ආරක්ෂක සේවය සහ වත්පිළිවෙත් අඛණ්ඩව සිදු කරන ලද බව පැහැදිලිය.

බෝධි ආරක්ෂක ජනයා අතර කිලිඟු කුල වැස්සන් සහ බලන්කුල පවුල් ආරක්ෂක සේනාවල සාමාජිකයින් බව පැහැදිලිය. එසේම ඔවුන් සමාජයේ ඉතා වැදගත් වංශවතුන්ද වූහ. විල්හෙල්ම් ගෛගර් විද්වතා සිය මධ්‍ය කාලීන ලංකා සංස්කෘතිය නමැති ග්‍රන්ථයේ ලංකාවේ මිනිස්සු සහ ලක්වැස්සන් පිළිබඳව විස්තර කර ඇත්තේ මෙ​සේය. කුලීන රදළ සංඛ්‍යාවට වැටෙන පවුල් හෝ ගෝත්‍ර කීපයක් ලංකාවේද විය. වංශ කථාවෙහි ඉන් සමහරක් නම් කොට ඇත. (1) ලම්භකර්ණ (2) මෝරියා (3) කුලිංගා (4) තරච්ඡා (5) බලිභෝජකා. ඉහතින් උපුටා දක්වන ලද නම් පහෙන් සතුන් ඇඟවේ.

ලම්භකර්ණ යනු හාවා හෝ එළුවා ය. මෝරිය මොණරාය. කුලිංග යනු ෆ්‍රයික් (Fork tailed) වර්ගයට අයත් කුරුල්ලෙකි (නීල කොබෙයියා – ලියුම්කරු). නරච්ජා වලසෙකි. බලිබොජක කපුටාය. සිංහල ගෝත්‍ර වංශවින්නාත්මක ලක්ෂණ වලින් සමන්විත වූ බව මෙයින් පැහැදිලිවම පෙනේ. උදාහරණයක් වශයෙන් ගතහොත් මොණරා මෝරියන්ගේ වින්නය නොහොත් සලකුණද සමහර විට මිථ්‍යාත්මක මුතුන්මිත්තාද විය. පිළිගත් මතය අනුව මේ සියලුම ගෝත්‍රයන් අතුරින් ලම්භකර්ණයෝ ඉන්දියාවේ සිට ශ්‍රී මහා බෝධිය සමඟ ලංකාවට ආවාහුය.

තරාතිරම අනුව ලම්භකර්ණයෝ ළඟට මෝරියෝ ගැනුනාහ. පෙනීයන හැටියට නම් තරච්ඡයන් සහ කුලිංගයන්ද ලම්භකර්ණයන් සමඟ ලංකාවට ආ බව කිව යුතුය… (පිටුව – 39)
ලම්භකර්ණ යනු දේව වංශිකයින්ය. පුරාණ ලංකාවේ ආර්ය ජන කොටස් පිළිබඳව පර්යේෂණ ග්‍රන්ථයක් ඉදිරිපත් කළ ආචාර්ය ඊ.එම්.සී. අමුණුගම මහතා මෙසේ විස්තර කරයි.

ඉරාණය හෙවත් අයිරාණය යන්නෙහි අර්ථය ආර්යයන්ගේ රට යන්නය. එය පුරාණයේදී හඳුන්වන ලද්දේ පාර්සියාව යන නමිනි. පාර්සියානු ආර්යන් ඉන්දියානු ආර්යයන් විසින් හඳුන්වන ලද්දේ දේවයෝ වශයෙනි. (The history of ancient Aryan tribes in Sri Lankan – P – 111)
පාර්සියන් ආර්යයන්ගෙන් කොටසක් උත්තර භාරතයේ කපිල වස්තු පුරයක් ඉදිකර එහි පදිංචි වූහ. මහා ඩේරියස් යුගයේදී පාර්සියානු නැව් හමුදාවක් ඉන්දු වැලි නිම්නය මෙන්ම ලංකාවද යටත් කරගත් පසු ලංකාවේද පාර්සියානු ආර්යන් පදිංචි වූයේ මහා සුමන රජු සමඟිනි. විඩුඩභ සංහාරය නිසා බුදුරදුන්ගේ මැදිහත් වීමෙන් කපිලවස්තුපුර වැසියන් ද ලංකාවට සංක්‍රමණය වූහ.

විල්හෙල්ම් ගෛගර් පවසන පරිදි දේව කුලයෙහි දේව යන වචනයෙහි පැහැදිලි සහ නිශ්චිත අර්ථය ‘‘රජ’’ යන්නය.

(The Mahawansa – The coming of the Bodhi Tree – xix)
පාලි බෝධිවංශයෙහි අවන්තියේ ​​​දේව සිටුවරයාගේ බිසව වූ වේදිස දේවිය හඳුන්වා ඇත්තේ;
‘‘වේදිසං නාම නගරං පන්වා
නත්ථ සුර්යුවතී නිබ්බ සේසං
සක්ක කුමාරිකං’’
ඇයගේ සහෝදරයන් අටදෙනා හෙවත් සඟමිත් තෙරණියගේ මාමාවරු අටදෙනා හඳුන්වා ඇත්තේ,
‘‘බෝධි ගුත්තක පමුකානං
අට්ඨ සක්ක පුත්තානං

නාම ගොන්නකං සාමෙත්වා’’ යනුවෙනි. ඒ අනුව ඔවුන් සියලු දෙනා සක්ක හෙවත් ශක්‍ර හෙවත් දේවයන්ය. ඔවුන් කෂ්ත්‍රීයන් විනා කිසිවිටෙකත් ශාක්‍යයන් නොවේ. ශාක්‍යයන් හෙවත් සිනියන්වරු ආර්යයන් නොවේ.
තරච්ඡයන් ගැන චූලවංශයෙහි 42-30 හි සඳහන් වේ. මෙම ගෝත්‍රයෙහි අයට මිහිඳු මාහිමියන්ගේ පිළිරුව ගෙන යාමේ කාර්යභාරය පැවරී තිබුණු බව සඳහන් වේ. ‘‘රුවන් සුන් මහ බෝ මඟුල’’ නමින් හැඳින්වෙන උත්සවයේදී මිහිඳු හිමියන්ගේ රන් පිළිරුව මහෝත්සවයෙන් මිහින්තලාවේ තැන්පත් කොට පසුව මහබෝ මළුවට ගෙන ගොස් මාස තුනක් තිස්සේ කරන උත්සවය රුවන් සුන් මහා බෝ මඟුල විය. එයින් නිරූපණය වන්නේ බුදුරදුන් රුවන් සූත්‍රය දේශනා කිරීම පිණිස විශාලාවට වැඩි ආකාරය නිරූපණය කිරීමයි. එම ස්වරූපයෙන් මිහිඳු රුව පෙරහරකින් මහ බෝ මළුවට ගෙන ගොස් මෙම උත්සවය සිදුකෙරේ.

සිංහල බෝධිවංශයේ ස්ථානාන්තර කථාවෙහි බෝධිගුප්ත කුමරුට ලක්දිව් ජයමහලේනා තනතුර මෙන්ම මහබෝධියේ භාරකාරීත්වයද පවරන ලදී. සුමිත්ත කුමරුට ජයමහලේ තනතුර සහ පෙරහර සිටුනා තනතුර පිරිනැමූ බව සඳහන් වෙයි. අදාළ පෙරහැර මෙම මහබෝ මඟුල බව පැහැදිලිය. තරාච්ඡ ගෝත්‍රයේ අයට මිහිඳු තෙරණුවන්ගේ ප්‍රතිමාව ගෙනයාමේ අයිතිය පැවරුණි. පළමුවැනි අග්ගබෝධි රජු (ක්‍රි.ව 568 – 601) විසින් තනවන ලද මහින්දකන නම් වැව් ඉවුරට මෙම රුව ගෙන ගිය ආකාරය ගෛගර් පඬිවරයාද සඳහන් කර ඇත.
කුලිංග හෙවත් කුලිඟු කුල යනු නීලකොබෙයියා නම් කුරුල්ලා ලාංඡනය මුල් කොටගත් බෝධි වංශික ජනයාය. ආරක්ෂක සේනාවක් වූ මොවුන්ගේ වංශවින්නය (ලාංඡනය) කඩු දෙකක් මැද වූ නීලකොබෙයියාය.

කොබෙයිගනේ කොබේකඩුව වැනි නාම ප්‍රභවයන් මොවුන්ගේ පදිංචිය අනුව සිදුවූවායැයි සිතිය හැක. දේවානම්පියතිස්ස යුගයේ සිට විහාර ගම් නවයේ මිනිසුන් ආවාහ විවාහ සිදු කරන ලද්දේ කුරුණෑගල කොබෙයිගනේ මහනුවර දිසාවේ කුණ්ඩසාලය යන ගම්වාසීන් සමඟ පමණි. දේවානම්පියතිස්ස යුගයේදී මඟුල් මහ පේමී තනතුර දෙන ලද්දේද මෙම බෝධි වංශිකයන්ටය. පොළොන්නරු යුගයේදී මහතොට ආක්‍රමණය කළ සොලී හමුදාවක් දින පහක දරුණු සටනකින් පරාජය කිරීම වෙනුවෙන් කලිඟු කුල මිනල්නාවන් (කිලිංගම් මිනල්නාවන්) හට තඹ සන්නසකින් වයඹ පළාතේ ගම් වරයක් දෙන ලද්දේ චෝඩගංගදේව රජතුමා විසිනි.

මේ අනුව බෝධි වංශිකයින් යනු යුද සේනා බලඇණියක් විය. මැති ඇමැතිවරු පවා ඔවුන් අතුරින් තෝරා ගැනුණි. මහා විජේබාහු රජතුමාගේ අඹගමුව සෙල්ලිපියේ මහා කිලිංගම් කින්ලි දෙටු නම් ඇමතිවරයෙකු ගැන සඳහන් වේ. 1818 උඩරට කැරැල්ලේ සේනාධි නායකයා ඌව පරණගම බෝමුරේ ගෙදර සුද්දනා දුරයා විය. කැප්පෙටිපොළ ඇතුළු ගම් නායකයින් පස්දෙනාද අත්අඩංගුවට වට ගන්නා ලද්දේ ඔහු විසිනි.
ගෛගර් සඳහන් කරන පරිදි කපුටා ලාංඡනය මුල්කොටගත් පිරිස බලිබෝජකා විය. බෝධි වංශයෙහි බලන්ථ කුලය ලෙස සඳහන් වන්නේ මොවුන්ය.

වෙස්සන්තර ජාතක ගැටපද විවරණයේ බලන්ථ යන වචනය අර්ථ දක්වා ඇත්තේ බලමුදලි හෝ යුද සෙබළ යනුවෙනි. දෙවැනි පරාක්‍රමබාහු රජුගේ මහත් උත්සවයකට මෙම ගෝත්‍රයේ ජ්‍යෙෂ්ඨයකු සහභාගි වූ බව මහාවංශයෙහි සඳහන් කර ඇත. වර්තමානයේදී බලන්ථ කුලය හඳුන්වන්නේ බත්ගම් කුල ජනයා වශයෙනි. සිංහල යුද හමුදාවේ චතුරංගනී සේනාව අතුරින් පාබල හමුදාව ඉතා වැදගත් අංගයකි. එහි එක් එක් අංග අතුරින් කුන්තය දරන්නෝ කුන්නාවි දුරාවෝ වූහ. එය සම්පූර්ණයෙන්ම සමන්විත වූයේ බත්ගම් කුලයෙනි. හේවාරත්න, හේවාසිංහ, හේවා හේවගේ, සෙල්ල හේවා යන පෙළපත් නාමයන් ඔවුනට ලැබී ඇත්තේ මේ නිසාය.

අනුරාධපුර රජ මාළිගයේ වාහල්කඩ හතර හෙවත් හතර පේඩිය භාර හමුදා නිලධාරීන් මොවුන්ය. දුටුගැමුණු රජතුමාගේ මරණ මංචකයේදී වැඩ අවසන් නොවූ රුවන්වැලි මහ සෑයේ කොත කෘතිමව දැවයෙන් හදා සුදු රෙදිවලින් සරසා තිසා වැවේ ජලයෙන් නැහැවෙන සේ යන්ත්‍රයක් සාදා රජුට ප්‍රදර්ශනය කළ පේඩිවරයා රන්කොත් පේඩිගේ විය. හතර කෝරළයේ අට්ටාපිටිය පෘතුගීසි කඳවුරට මහ රෑ ගොස් පෘතුගීසීන් වනසා සිංහල සිරකරුවන් බේරාගත් සිංහල හමුදාවේ නායකයා නුවර පක්ෂ පේඩිගේ විය. ඔහුගේ සෙබළ පිරිස නුවර පක්ෂ හේවා විය. ඓතිහාසික දන්තුරේ සටනේ හමුදාපතිවරයා මහා හේවා පේඩිගේ සරණහේවා බණ්ඩාර විය. දඹදෙණියේ දෙවැනි පැරකුම්බා රජු මාවනැල්ලට නුදුරු අළුත් නුවර දේවාලයේ භාරකාර තනතුරු සියල්ල පවරන ලද්දේ මෙම ජනයාටය.

‘‘….දඹදෙණියේ රජතුමා විසින් පත්කළ මඟුල් දුරයින්ගේ කිනාය, මිනාය යන පිරිමි දෙන්නකු සහ ගැහැනු දෙන්නෙකුගේ පරම්පරාවෙන් පැවත ආ කින්දුර්යා, කපුනිලයා, බුන්දුරයා, මුළුතැන් නිලය, මෙයින් බුන්දුරයා, විධියා දුරයා, මණ්කුමාරයා, දෙබාගයේ දුරකම් කළ පටියා කුමාරයා, මුළුතැන් දේවයා, මෛලා කුමාරයා, උඩබාගේ පරමා දුරයා, යන අය පිළිවෙලින් මුළුතැන් නිලය, මස්රන් බද්ද, සුලවාලි නිලය පරිවේණි වී තිබුණි.

(චාල්ස් ගොඩකුඹුර – සිංහල සාහිත්‍ය ලිපි – 1940 අළුත්නුවර දේවාල කරවීමේ ලිපිය – පිටු – 67, 68)
බෝධිය සමඟ විශාල ආරක්ෂක පිරිසක් සහ රාජ කුමාරවරුන් මෙරටට එවන ලද්දේ මෙරට බුදු සසුන ව්‍යාප්ත කිරීම සඳහා පමණක් නොවේ. එසේම එවන ලද රජ කුමාරවරුන්ට මෙරට රාජ්‍යයේ ඉහළම තනතුරු දෙන ලද්දේ ධර්මාශෝක රජතුමා ලියා එවන ලද විස්තර අනුවය. ආනන්ද පී. ගුරුගේ මහතා අපේ සංස්කෘතික උරුමය නම් ග්‍රන්ථයේ සඳහන් කරයි.

ක්‍රි.පූ. තුන්වැනි සියවසෙහි ධර්මාශෝක අධිරාජයාණන් හා පැවති ඉන්දු ශ්‍රී ලංකා සම්බන්ධයෙහි එක අංගයක් වූ බෝධි ශාඛාව වැඩමවීම මුල්කොට ගෙන මෙරට රාජ්‍ය බලය කෙරෙහි ශත වර්ෂ විසිඑකක් තුළ බලපෑමට තරම් ශක්තිමත් වූ සම්ප්‍රදායක් පැවතීම දෙරට අතර වූ සංස්කෘතික සමීපත්වයට දෙස් දෙන්නකි. ධර්මාශෝක අධිරාජයාණන් ලම්බකර්ණ හෙවත් ළමැණි කුලය ලක්දිවට එවූයේ සිතාමතා පාලන බලය තහවුරු කිරීමට ගත් පියවරක් ලෙස නම් එය සාර්ථක වූ බව පිළිගත යුතුව ඇත. සුභ, වසභ, සිරි සඟබෝ, ගෝඨාභය, මහසෙන්, බුද්ධදාස, කුමාරදාස, ධාතුසේන, පළවෙනි, තුන්වැනි, පස්වැනි, විජයබාහු, පස්වැනි හා හයවැනි පරාක්‍රමබාහු යන ශ්‍රේෂ්ඨ රජවරුන් සියලු දෙනාම ධර්මාශෝක අධිරාජ්‍යයාණන්ගේ ඥාති පරම්පරාවෙන් පැවත එන්නන් වූ බැවිනි.

ලම්භකර්ණයන් මෙන්ම බෝධි ආරක්ෂක ජනයාද ක්‍රමයෙන් වර්ධනය වෙමින් දිවයින පුරා ව්‍යාප්ත වූහ. බෝධි වංශයේ පරම්පරා කථා අනුව අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධියෙන් පැන නැඟුණු පැළ දිවයිනේ විවිධ ප්‍රදේශවල පැළ කරනු ලැබීය. එම බෝධීන් වහන්සේලා ආරක්ෂා කිරීමට බෝධි වංශිකයින් යවන ලදුව ඔවුන් එම පෙදෙස්වල පදිංචි කරවූහ. වසර 2300කට පෙර හටගත් මුල්ම පැළය රුසිගම පැළ කරනු ලදුව අද දක්වාම දක්නට ලැබේ. ඒ අසල ගම්වල පදිංචිකරුවන් ඔවුන් බෝධි වංශිකයින් බව ප්‍රකාශ කරයි. දේවානම්පියතිස්ස යුගයේදීම ඇති වූ බෝ පැළ අටක්ද ඉන්පසු කාලයේදී පැළ 32 ක්ද ඉන් ද පසුකාලයේදී පැළ 34ක්ද, කාර්ගම, සේරුවිල, මහියංගණය, බෙල්ලන්විල, දඹදෙණිය ආදී ප්‍රදේශවල සිටුවනු ලැබීය.

විදේශ ආක්‍රමණ නිසා අනුරාධපුර රාජධානිය වල් බිහි විය. ජන ශුන්‍ය බවට පත්විය. ලම්භකර්ණ රජවරු පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, දැදිගම, දෙවනගල, ගම්පොළ, අම්බුළුගල (දෙවනගල) සහ ඉන් පසු කොළඹ කෝට්ටයට ක්‍රි.ව. 1412 දී හයවැනි පැරකුම්බාවන් ගෙනයන ලදී. ලම්භකර්ණ රජ පරපුර මහනුවර සේනාසම්මත වික්‍රමබාහුගෙන් අවසන් විය. උඩරට රාජ්‍යය වඩුගයන් අතට පත්විය. ඔවුන්ගේ මලබාර් නෑදෑයන්ට තනතුරු හා නම්බුනාම ලබාදුන්හ. බොදු සසුන තුළට සොලී පාඩි හා කේරළ ආදීන් ඇතුළුවී නව නිකායක් පිහිටුවාගත්හ.

මුහුදුබඩ පළාත් පෘතුගීසීන්ටත් අනතුරුව ලන්දේසීන්ටත් නතුවිය. ඔවුන් දකුණු ඉන්දියානුවන් කිතු ලබ්ධිය හා රෙපරමාදු ලබ්ධි ගන්වා මෙරටට ගෙන අවුත් මුහුදුබඩ පළාත්වල පදිංචි කරවා ධීවර කටයුතු කුරුඳු හැලීම් හා පොල් ගස් ආශ්‍රිත කටයුතුවල නියුක්ත කරලූහ. අනතුරුව ලන්දේසි පාලනය ඉංග්‍රීසින් අතට පත්වී උපක්‍රමශීලීව මුළු රටම අත්පත් කරගත්හ. අවසන් රජතුමා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ ඔහුගේ මලබාර් ඥාතීන් විසින්ම ඉංග්‍රීසීන්ට අල්වාදෙන ලදුව සිරකාරයකු ලෙස වෙල්ලෝරයට ගෙනයන ලදී.

උඩරට යටත් කරගත් ඉංග්‍රීසින්ට අවශ්‍ය වූයේ මහනුවර සිට ත්‍රිකුණාමලය දක්වා මහා මාර්ගයක් ඉදි කිරීමය. උඩරට රජුගෙන් ඒ සඳහා අවසර ඉල්ලූ නමුදු අවස්ථා කීපයකදීම යෝජනාව ප්‍රතික්ෂේප විය. ඉංග්‍රීසිහු වහ වහා මාර්ගය ඉදිකිරීම ආරම්භ කළහ. අනුරාධපුරය මහ වනයෙන් වැසී ගොස් තිබුණි. මහ වනය මැදින් මහා මාර්ගය ඉදි කිරීමේදී පැරණි නගරයක නටබුන් ඔවුනට හමුවිය. එම නටබුන් අතර වටිනා වස්තු සම්භාරයක්ද ඔවුනට අත්පත් විය. ඉංග්‍රීසිහු ද්‍රවිඩ කම්කරුවන් යොදා ගනිමින් නගරය කැලෑවෙන් මතුකොට ශුද්ධ පවිත්‍ර කළහ. හමු වූ වටිනා පුරාවස්තු එංගලන්තයට යැවීය.

එළිපෙහෙළි වූ නටඹුන් අතර බෝ ගස් ගණනාවක්ද දක්නට ලැබුණි. මේ අතරතුර වනය මැදින් මතුව ආවේ වැදි ජනතාවක් බඳු මිනිස් පිරිසකි. ඔවුන් විහාර ගම් නවයේ පදිංචිව සිටි බෝධි ආරක්ෂකයින්ය. ඔවුන් සුද්දන් ඇතුළු කම්කරු පිරිස් ඉදිරියට අවුත් ජයසිරි මහා බෝධිය සහ පරිවාර බෝධීන් වහන්සේලා වෙන් වෙන් වශයෙන් හඳුන්වා දුන්හ. වනයෙන් වැසීගොස් මහජන දෙනෙතින් තුරන්ව තිබූ ජාතික දායාදය රටට හෙළිකර දුන්හ.

මෙරට තුළ බෞද්ධ ජනතාවගේ පුනර්ජීවය නැවත ඇතිවිය. මේ අතර පහතරට පෙදෙස්වලින් පැමිණි භික්ෂූන් වහන්සේලා කීප නමක් ලහි ලහියේ වරිච්චි බිත්ති හා පොල් අතු සෙවිලි කරන ලද පන්සල් ඉදිකර ගනිමින් එහි පදිංචි වූහ. බෝධි වංශික උඩරට සමාජ ක්‍රියාකාරිකයකු ඒ බව සඳහන් කර ඇත්තේ මෙසේය.
‘‘අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ගම්පහ පෙදෙස්වලින් පැමිණි භික්ෂූන් වහන්සේලා අටමස්ථානයක් ඉදිකළෙන් අනතුරුව අවට පැරණි ගම් දනව් නතුකර ගත්තේය. එම ගම් විහාර වශයෙන් ප්‍රසිද්ධ කොට එහි විසූ බෝධිහාර බෝධි පාලකයන් පළවා හැරීමට උත්සුක විය….’’

ආචාර්ය H.H.S. නිශ්ශංක මහතා විහාර ගම් නවයේ පදිංචිකරුවන් පිළිබඳව දක්වන්නේ මෙවැනි අදහසකි.
‘‘මුළු මහත් අනුරාධපුරයම සියවස් ගණනාවක් පුරා පාළුවට ගොස් තිබියදී පවා තම වංශයේ අය කවර දිනකදීවත් ජයසිරි මහ බෝධීන් වහන්සේ නොඅත්හැරිය බව විහාර පාලුගම් නවයේ වැසියන් අපට කීහ. බෝධීන් වහන්සේට මේ පුද පූජා වතාවන් දිනපතා සිදුවන සේ කටයුතු සැලැස්ම ගිහියනට විශේෂයෙන් බෝධිගුත්ත කුමරුටද සුමිත්ත කුමරුට ද පවරනු ලැබිණ. දේවානම්පියතිස්ස මහරජු භික්ෂුන්ට මෙම පරිපාලන කාර්ය පැවරූ බවට ඉතිහාසය සාක්ෂි නැත. සුද්දා ඒමට පෙර අටමස්ථාන කාරක සභාව යැයි කොමිටියක් තිබී නැත. පළමුවරට දිසාවේ (රටේ මහත්තුරු) තිදෙනෙක්ගෙන්ද නුවර කලාවියේ කෝරළේ දහහත් දෙනාගෙන්ද යුත් කමිටුව සකසන ලද්දේ වර්ෂ 1871 දීය. 1871 දී සුදු ඒජන්තයා එය අනුමත කෙළේය. මේ ගණන 1931 දී තුන්දෙනා දක්වා අඩු කරන ලදී. එහෙත් අටමස්ථානාධිපති පත්කිරීමේ පාරම්පරික අයිතිය බුලංකුලම පරපුරට ඇතත් ජයසිරි මහ සමිඳුනට පුද සත්කාර වතාවන් කිරීමේ පරිපාලන බලතල උඩමළුවේ විහාරයේ අනුනායක පවරාගෙන ඇත.

(ආචාර්ය H.S.S නිශ්ශංක – Daily News – 1999 ජුනි 12 සහ ජුනි 14 ලිපි, සී/ස රණසිංහ ධර්මවිමල)
දේවානම්පියතිස්ස යුගයේ සිට ලම්භකර්ණ වංශික රජවරු මෙම බෝධි ආරක්ෂක ජනයාගේ භාරකරුවන් වූහ. බෝධිගුත්ත හා සුමිත්ත කුමරුගෙන් පසු විධුරින්ද කුමරු භාරකරු විය. විධුරින්ද යනු බෝධිගුත්තා සහ සුනන්දා යන දෙපොළගේ දරුවන් දෙදෙනාගෙන් බාල කුමරුය. කෝට්ටේ යුගයේදී නිශ්ශංක අලගක්කෝණාර හෙවත් පස්වැනි පරාක්‍රමබාහු රජු හංස සංදේශයේ හඳුන්වා​ ඇත්තේ බෝගණිසුරු එනම් බෝධි ආරක්ෂක ජනයාගේ නායක යනුවෙනි.

සිංහල රාජවරුන්ගේ පරසතුරු ආක්‍රමණවලදී සංග්‍රාමයක් කරන ලද්දේ බෝධිවංශික බලත්ථ කුල, දුනුවා කුල, වැනි ආරක්ෂක සේනාවන් සමඟිනි. බෝධිය සිංහල ජනයාගේ අති උත්තම පූජනීය වස්තුවක් විය. එම නිසා එහි ආරක්ෂාව භාරදෙන ලද්දේ ඉහළ මට්ටමේ ආරක්ෂක සේනාවන්ටය. සිංහල රාජ පරම්පරාවන් සහ කුමාරවරු වඳව යාමත් සමඟ විහාර පාලන ගම් වාසීන් තමන්ගේ නායකයෙකු පත් කරගෙන බෝධියේ ආරක්ෂක කටයුතු සහ වත්පිළිවෙන් සිදු කරන ලද්දේ සිය රාජකාරිය දේව කාරියක් ලෙසටය. අදද එසේමය. මේ නිසා මෙම පිරිස්වල යහපැවැත්ම සහ දියුණුව උදෙසා මෙරට පාලකයින් මෙන්ම උගතුන් බුද්ධිමතුන්ගේද කැපවීම් සිදුකළ යුත්තකි.

විහාර ගම් නවයේ දින තුනක සංචාරයේදී මා සමඟ එකතු වූ වරකාපොළ වෙ​ෙළඳ ව්‍යාපාරික ධර්මසේකර මහතාටද සීදුව පෙදෙසේ සමාජ ක්‍රියාකාරිවරයකු වන අජන්ත හේවගේ මහතාටද විවිධ තොරතුරු සැපයීමේදී මා හට උදව් කළ ගම් නවයේ පිරිස් වෙතද මාගේ ගෞරවය පිරිනමමි.

එම්.කේ. ජයසේන 
(විශ්‍රාමික ජෙෂ්‍යෂ්ඨ කථිකාචාර්ය) – ලංකාදීප පුවත්පත. 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x