විශේෂාංග

ලංකා ඉතිහාසයේ ප්‍රථම විශේෂ කාර්ය බළකාය

ලාංකීය ඉතිහාසය තුළ විවිධ සිද්ධීන් හා චරිත ඉස්මතු කරමින් ඉතිහාසගත සිද්ධීන් හා ඇතැම්හු යුග පුරුෂයන් බවට පත් කිරීමටත්, ඇතැම් දේ හා පුද්ගලයන් නාමිකව පමණක් තැබීමටත්, ඇතැම් චරිත ඉතිහාසය තුළින් මකා දැමීමටත් ඉතිහාස ග්‍රන්ථ තුළ ගැබ්ව ඇති පුවත් දෙස ඕනෑකමින් බලන විට මනා ලෙස පැහැදිලි වේ. එවන් තත්ත්වයක් ඇති වීමට විවිධ හේතු ඇත.

මහාවංශයේ සඳහන් පරිදි ඉතිහාසයේ ලාංකීය යුග පුරුෂයා දුටු ගැමුණු කුමරු ය. එහෙත් එසේ එතුමා වීරත්වයට පත්වීමට ඉමහත් මෙහෙයක් කළ කාවන්තිස්ස රජු පිළිබඳව ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වන්නේ ඉතාමත් අල්ප වශයෙනි. එමෙන්ම දුටු ගැමුණු-එළාර යුද්ධයේ දී මහත් මෙහෙවරක් කළ දසමහා යෝධයින් ගැන ද සඳහන් වනුයේ ඉතා කෙටියෙනි. එහෙත් දුටු ගැමුණු-එළාර යුද්ධයේ දී විශාල කාර්ය භාරයක් දසමහා යෝධයින්ගෙන් ඉටුවී තිබුණත් ඒ කාර්යය භාරය පිළිබඳව සඳහන් වන්නේ සංක්‍ෂිප්තවය.

එහෙත් මෙම දසමහා යෝධයින් පිළිබඳව සැඟව ගිය තොරතුරු රාශියක් ඇත. ඒවා කාලයත් සමගම යටපත්ව ගොස් ඇති අතර එළිදරව් නොවන තත්ත්වයක පවතී. දුටු ගැමුණු රජුගේ යෝධයන් පිළිබඳව බලන විට ඇතැම් චරිත ඉස්මතු වන අතර, ඇතැම් චරිත යටපත්ව ගොස් ඇත. නන්දිමිත්‍ර, සුරනිමල, ගෝඨයිම්භර, ථේරපුත්තාභය වැනි චරිත ඉදිරියට පැමිණ ඇති අතර ඇතැම් චරිත යටපත්ව ඇත.

මහාවංශයේ සඳහන් නොවුන ද පාලි රසවාහිණිය නමැති පැරණි ග්‍රන්ථයේ ද‌ාඨා සේන, මහානෙල නම් යෝධයන් ගැන ද සඳහන් වන අතර, ජනප්‍රවාද අනුව බලන විට බුලතා නමින් යෝධයෙක් සිටි බව ද සඳහන් වෙයි. බුලතා යෝධයාගේ බිරිඳ ද යෝධ කාන්තාවකි. දසමහා යෝධයින් යටතේ කාවන්තිස්ස රජු යුද හමුදාව 1110 රැසක් කළ බව මහාවංශය, සහස් වත්ථු හා පාලි රසවාහිණී කියයි. මෙම යෝධයින් දස දෙනා යටතේ විවිධ ක්‍රම යටතේ සටන් පුහුණුව ලැබූ හමුදා දහයක් සකස් කර ඇත.

එයින් සටන්වලට උපක්‍රමශීලීව, ගරිල්ලා ක්‍රම වැනි සුවිශේෂී සටන් ක්‍රම හා සාර්ථක ලෙස මුහුණට මුහුණ සටන් කළ හැකි සුවිශේෂ වූ භට හමුදාවක් පවත්වාගෙන ගොස් ඇත්තේ සුරනිමල නම් යෝධ සෙනවියා යටතේය. කාවන්තිස්ස රජු විසින් පිහිටවූ, ගැමුණු-එළාර යුද්ධයේ දී ඉමහත් සුවිශේෂී කාර්ය භාරයක් ඉටුකළ සුරනිමල යෝධ සෙනවියා යටතේ තිබූ මෙම විශේෂ කාර්ය බළ හමුදාව පිහිටුවීමට හේතු වූ රසවත් කතාන්තරයක් ඇත.

කොත්මලේ දුටුගැමුණු කුමරු හා සම්බන්ධ ජනප්‍රවාද පිළිබඳව සුදු ජාතික කාන්තාවක් වූ මාගරිටා රොබින්සන් මහත්මිය කලක් කොටගේපිටිය ග්‍රාමයේ නැවතී පර්යේෂණ කළාය. ඇගේ පර්යේෂණවලින් සොයාගත් කරුණු රැසක් ඉංග්‍රීසි ගත්කතුවරයෙකු වූ ඊ.ආර්. ලීව් නමැති අය පළකළ ‘‘කේම්බ්‍රි පේපර්ස් ඔප් ඇන්ත්‍රපොලජි’’ නමැති ග්‍රන්ථ පෙළෙහි 3 වෙළුමේ මෙම හමුදාව පිහිටුවීම පිළිබඳව අපූරු තොරතුරු ඇතුළත් වේ.

එසේම ලංකාවේ පැරණි පොත් ගුලක් වූ කොත්මලේ වටද්දර පිරිවෙනේ පුස්තකාලයේ තිබී දැනට කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ පුස්තකාලයේ තිබෙන ‘‘ශවෙර වස්තු’’ නම් ග්‍රන්ථයේ ද මෙම කතා පුවත සඳහන් වේ. (ශවෙර – යනු විහාර මහා දේවියට භාවිත කළ තවත් නමක් බව එහි සඳහන්ය)

එම ග්‍රන්ථවල සඳහන් වන පරිදි කොත්මලය අතීතයේ ප්‍රාදේශීය රාජ්‍යයකි. කාවන්තිස්ස රජු යටතේ රුහුණු රාජ්‍යය යටතේ පාලනයට වූ ප්‍රාදේශීය රාජ්‍යයකි. මෙහි ප්‍රාදේශීය පාලකයා වශයෙන් කටයුතු කර ඇත්තේ. බලදේව නම් ප්‍රාදේශීය තරුණ රජෙකි. මොහු කලක් තිස්සේ කරගෙන ගිය රජුගේ භාණ්ඩාගාරයට අාදායම් සැපයීමේ දී සිදුකළ වංචාවක් නිසා රජු මොහු අත්අඩංගුවට ගෙන සිරභාරයට පත් කරන ලදී. ඉන් අනතුරුව කොත්මලයේ ප්‍රාදේශීය පාලනය සඳහා පත්ව එන්නේ කුමරියන් දෙදෙනෙකි.

මෙම කුමරියන් දෙදෙනා කලක් තිස්සේ විහාර මහා දේවිය යටතේ රුහුණු රජ මාලිගයේ හැදී වැඩුනා වූ දෙදෙනෙකි. මනා රූසපුවකින් යුත් මෙම දෙදෙනා හොඳින් වැඩුණු ශරීරවලින් මෙන්ම නැණ නුවණින් ද පිරිපුන් වූවාය. දිගම්භරිකා හා ශ්වේතමාලා නම් වූ මෙම දෙදෙනා හොඳ යෙහෙළියෝ වූහ.

මෙම දෙදෙනා අතරින් ශ්වේතමාලා කුමරිය හා සුරනිමල අතර කලක් තිස්සේ පවත්වාගෙන ආ ප්‍රේම සබඳතාවයක් තිබී ඇත. ශ්වේත මාලා කොත්මලයට පැමිණි පසු ඇය හමුවීමට සුරනිමල යෝධ සෙනවියා ද නිතර නිතර කොත්මලයට පැමිණ ඇත. එහිදී ඔවුන් ගල්තලාවක් මතට වී ප්‍රේම කතාවල යෙදීම සිරිතක් කරගෙන තිබී ඇත. එක් දිනක් ශ්වේතමාලා හමුවීමට පැමිණි සුරනිමල යෝධයා ඇය පැමිණෙන තුරු ගල්තලාව මතට වී ඈත කඳුකරයේ ඇති මනස්කාන්ත දර්ශනය දෙස බලාගෙන සිට ඇත.

එක්වරම ඇසුන හඬකින් තිගැස්සී ගල අසල බලන විට ඔහු දැක ඇත්තේ අපූරු දර්ශනයකි. එනම් නයි මුගටි සටනකි. මෙය කලාතුරකින් දකින්නට ලැබෙන අපූරු සටනකි. එවන් සටනක් ඇතිවුවහොත් සටනින් එක් ජීවියෙකු පරාද වන තෙක්ම දින ගණනක් වුව ද මෙම සතුන් දෙදෙනා සටන් කරති. ශ්වේතමාලා කුමරිය පැමිණෙන තෙක් මේ සටන් දර්ශනය දෙස බලාගෙන සිටි සුරනිමලට මෙම දර්ශනය කොතෙක් සිත්ගෙන තිබුණේදැයි කිවහොත් ශ්වේතමාලා පැමිණ තමන් අසල ඉඳගන්නවාවත් දැනුනේ නැත.

තම පෙම්වතා වූ සුරනිමල මෙතෙක් විමසිලිවත්ව ඕනෑකමින් බලා සිටින්නේ කුමක්දැයි ශ්වේතමාලා ද එබී බැලුවාය. දුටු දර්ශනයෙන් බියපත් වූ ඇය කෑ ගසා ඇත. සුරනිමල එක්වරම ඇය දෙස බලා නිහඬවන ලෙස සංඥා කර ඇය සමග නයි මුගටි සටන බලා සිට ඇත.

මෙම වකවානුව කාවන් තිස්ස රජු දසමහා යෝධයන් යටතේ හමුදාව පිහිටුවන කාල සීමාවයි. සුරනිමල යටතේ ද හමුදා ඛණ්ඩයක් පිහිටුවීම කරගෙන යයි. එය සිදුවන අතරවාරයේ තම පෙම්වතිය බැලීමට සුරනිමල කොත්මලයට පැමිණියේ. එසේ පැමිණියත් ඔහු සිටියේ තමා යටතේ පිහිටු වන හමුදා ඛණ්ඩය කුමන ආකාරයක එකක් විය යුතු දැයි සිතමිනි.

මෙම නයි-මුගටි හටන දෙස මද වේලාවක් බලා සිටි සුරනිමලට අදහසක් සිතට නැගුණි. එමනිසා මෙම සතුන් දෙදෙනා සටන් කරන ආකාරය පිළිබඳව දැඩි අවධානයක් යොමු කළේය. නයි මුගටි හටන ඇවිලී ගියහොත් සටනින් එක් ජීවියෙකු පරාද වී මියයන තෙක්ම දෙදෙනා එකිනෙකාට නොදවෙනි සේ සටන් වදිති. සමහර අවස්ථාවල, මොවුන් දෙදෙනා අහරක් හෝ ජලය හෝ විවේකයක් නොමැතිව සම්පූර්ණ අවධානය සතුරා කෙරෙහි යොමු කර තම අරමුණ ජය ගැනීමට සටන් කරති. සටන අවසාන වන්නේ සතුරාගේ මියයාමත් සමගය.

කොත්මලේ ගල්තලාවක් මත හිඳ පෙම්සුව විඳින්නට පැමිණි ශ්වේතා කුමරියත් සුරනිමලත් දුටු මෙම නයි-මුගටි හටන තුළින් සුරනිමලගේ සිත තුළට නවතම අදහසක් ඇතුළු විය. එනම් නයා සමග සටන් කරන මුගටියාගේ ක්‍රියා විලාශය පිළිබඳවය. එනම් දෙදෙනා පහර දී ගන්නා ආකාරයත්, පහරවල් දෙදෙනාම වළක්වා ගන්නා ආකාරයත්, මුගටියා නයාට පහරදීමට පනින විලාශයත් පහර දීමට සුදුසු අවස්ථාව, එනම් සතුරාගේ දුර්වල අවස්ථාව එන තෙක් මාන බලන ආකාරය, සුදුසු අවස්ථාව හෙවත් සතුරාගේ දුර්වල අවස්ථාව හඳුනාගත් පසු සතුරා වෙත කඩාපනින ආකරය, එල්ලය ගනු ලබන ආකාරය, සතුරා පහරදෙන විට පහර තමාට වැදීමෙන් වළකින ආකාරය, සතුරා මූලාකරන ආකාරය පිළිබඳව ඔහු සිත තුළ අවධාරණය කරගත්තේය.

නයි-මුගටි හටන දින ගණනාවක් පැවැතුනි. සුරනිමල එම දින ගණනාවම ශ්වේතා කුමරිය සමග එම ගල් තලාවට පැමිණ මෙම නයි-මුගටි හටනේ සතුන් දෙදෙනාගේ ඉරියව් මැනවින් අධ්‍යයනය කර ඇත.

අනතුරුව මෙම සතුන් දෙදෙනාගේ සටනින් තමා තුළ අලුතින් හටගත් අදහස ශ්වේත කුමරියටත්, දිගම්භරිකා කුමරියටත් පැහැදිලිකර කොත්මලය පුරා සිටි සටන් ක්‍රම හැදෑරීමට හා කාවන්තිස්ස රජුගේ හමුදාවට එක්වීමට කැමති තරුණ පිරිසක් රැස්කර සුරනිමල විසින් නයි මුගටි හටන තුළින් අධ්‍යයනය කර තමා විසින්ම නිර්මාණය කළ නවතම සටන් ක්‍රමය එම තරුණ පිරිසට ඉතා රහසිගතව පුහුණු කරනු ලැබ ඇත.

ඉන්පසු මෙම තරුණ කණ්ඩායම මනා පුහුණුවකින් පසු රුහුණු රාජ්‍යයට කැඳවා ගොස් කාවන්තිස්ස රජුට හඳුන්වා දී ඔවුන්ගේ සටන් ක්‍රම රජු සහ විහාර මහා දේවිය ඉදිරියේ ප්‍රදර්ශනය කර ඇත.

සුරනිමලගේ මෙම කාලෝචිත ක්‍රියාව පිළිබඳව මහත් සතුටට පත් රජතුමා ඔහුට බොහෝ තෑගි බෝග ද මෙම බළකාය විශේෂ කාර්යය බළකායක් ලෙස නම් කර තවදුරටත් සටන් ක්‍රම පුහුණුවන්නට රුහුණු රාජ්‍යයෙන් ස්ථානයක් ද ලබා දී වැටුප් ද ලබා දී ඇත.

පසු කලක එළාර සමග ගැමුණු කුමරු කළ සටනේ දී එළාරගේ මහා බලවත් විජිතපුර බළකොටුවට පහර දීමට ගැමුණු කුමරුගේ හමුදාවට නොහැකිව සිටිය දී එළාරගේ හමුදාවේ අවධානය වෙනතකට යොමුකර විජිතපුර බළකොටුවේ වෙනත් පැත්තකට පහරදීමට සලස්වා අනෙක් පසින් මෙම විශේෂ පුහුණුව ලැබූ හමුදා සෙබළුන් සුරනිමලගේ නායකත්වය යටතේ බළකොටුවට ඇතුළුවී විජිතපුර බළකොටුවේ සිටි එළාර සේනාව සමූල ඝාතනය කර ඇත. මෙම පරාජය දැනගත් එළාර තම සේනාවට සිදුවූ විපත දැක තනිවම ගැමුණු කුමරු හා සටනට එළඹ ඇතැයි ජනප්‍රවාදයයි.

නයි-මුගටි සටන තුළින් මුගටියාගේ ආක්‍රමණශීලී සටන් විලාශය අධ්‍යයනය කිරීමෙන් සුරනිමල යෝධ සෙනවියා විසින් ගොඩ නැගූ කොත්මලේ තරුණයන්ගෙන් සැදුම්ලත් විශේෂ හමුදා බළඇණිය ලක් ඉතිහාසයේ මහා යුද්ධයක දී ක්‍රියාත්මකව සටන් කළ පළමු වැනි විශේෂ යුද බළකාය ලෙස ඉතිහාස ගතවනු ඇත.

කොත්මලේ,
රංජිත් සිසිර කුමාර සූරියආරච්චි – ලංකාදීප.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x