විශේෂාංග

කඩුගන්නාවේ මහ ගලක් විද සුදු ජාතිකයන් පාර හැදූ හැටි

කොළඹ – මහනුවර මාර්ගය

 

නානුඔය පැරණි ගඩොල් පාලම

 

කඩුගන්නාව ගල විද්ද ස්ථානය

 

 

 

 

 

මෙරට ඉදිකරන ලද ප්‍රථම මහා මාර්ගය ලෙස ඉතිහාසගතව ඇත්තේ කොළඹ- මහනුවර මාර්ගයයි. බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් 1820 වසරේදී කොළඹ – මහනුවර මාර්ගය සැකසීමේ කටයුතු ආරම්භ කොට තිබේ. කොළඹ සිට මහනුවරට වැටී තිබූ පැරණි මාර්ගය වන්නේ කැළණි නිම්නය ඔස්සේ රුවන්වැල්ල හරහා මා ඔය නිම්නය දක්වාත්, එතැන් පටන් ගම්පොල හරහා ගොස් මහනුවර දක්වා තිබූ අධික දුරකින් සමන්විත මාර්ගයයි. එම මාර්ගය ඔස්සේ නුවරට ඒමේදී විශාල දුරක් ගෙවා දැමීමට සිදුව ඇති නිසා කොළඹ සිට මහනුවරට කෙටි මාර්ගයක් සකසා ගැනීමේ අවශ්‍යතාව බ්‍රිතාන්‍යන්ට තිබූ ලොකුම ගැටළුව විය.

මෙම ගැටළුව මත එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා කොළඹ සිට මහනුවරට ළඟාවීමට කෙටි මාර්ගයක් නිර්මාණය කොට සකස් කිරීමේ කටයුතු රාජකීය ඉංජිනේරු මේජර් ස්කිනර්ට හා ඔහුගේ සහායක රාජකීය ඉංජිනේරු කැප්ටන් විලියම් ෆ්රැන්සිස් ඩෝසන්ට පවරන ලදී. එහෙත් මාර්ගය තැනීමේ සම්පූර්ණ වගකීම පැටවූයේ කැප්ටන් ඩෝසන්ගේ උරමතය. එහි ප්‍රතිඵලයක් වශයෙන් කඩුගන්නාව දුර්ගය හරහා මහනුවරට පිවිසීමේ මාර්ගය සැකසීමේ අභියෝගාත්මක මෙන්ම අතිශය දුෂ්කර කටයුත්තට කැප්ටන් ඩෝසන් මහතා අත ගසන ලදී.

කොළඹ – මහනුවර මාර්ගයේ පළමු අදියර කොළඹ සිට අඹේපුස්ස දක්වාත්, දෙවන අදියර අඹේපුස්සේ සිට කඩුගන්නාව දක්වාත් ඉදිකිරීම් සිදුකරන ලදි. අලි, කොටි, වලසුන්, සර්පයන්, කූඩැල්ලන් වැනි සතුන් හමුවේත්, ඇළ, දොළ, ගංගා, ගිරි දුර්ග, වැනි බාධක මැද අනේකවිද විවිධ දුෂ්කරතා මෙන්ම මැලේරියාව වැනි වසංගත රෝග හමුවේද මෙම මාර්ගය සැකසීම සුදු අධිරාජ්‍යවාදීන්ට එතරම් පහසු කටයුත්තක් නොවිණි. කොළඹ- මහනුවර මාර්ගය ඉදිකිරීමේ දී එහි අමාරුම කොටස වූයේ කඩුගන්නාව දුර්ගය තුළ මාර්ගය සැකසීමේ ක්‍රියාවලියයි.

මෙම මාර්ගය සැකසීමට කැප්ටන් ඩෝසන් දිවා රාත්‍රී දෙකෙහිම එක දිගටම වෙහෙස මහන්සි වු අතර, කඩුගන්නාව දුර්ගයේ මාර්ග කොටස ඉදිකිරීම බොහෝ දුෂ්කර කටයුත්තක් විය. කඩුගන්නාව දුර්ගයේ පිහිටි කළුගල විද තැනූ උමඟද කැප්ටන් ඩෝසන් මහතාගේ නිර්මාණයකි. කොළඹ – මහනුවර මාර්ගය සැකසීමේදී කැප්ටන් ඩෝසන් මහතා අභියෝගයට ලක්වූ ස්ථානයක් ලෙස මෙම උමං මාර්ගය හැඳින්වේ.

කඩුගන්නාව ගල් පොත්ත විද්ද ස්ථානය සුදු ජාතිකයන් විසින් අභියෝගයක් ජය ගත් ස්ථානයක් මෙන්ම ඔවුන්ගේ විශ්මකර්ම කටයුත්තක් ලෙස ඉතිහාසයේ සඳහන් කොට ඇත. මෙම ගල් පොත්ත විද පාර සැකසීමත් සමග උඩරට සිංහලයන්ගේ එක් විශ්වාසයක් බිඳ වැටුණු බව එවක සුදු ජාතිකයන් විසින් ලියූ පොත්පත්වල සඳහන් කොට තිබේ. එම විශ්වාස වී ඇත්තේ දළදා හිමි ගන්නා තුරු හා ගල විද පාරක් සකසන තුරු උඩරට රාජධානිය ඉංග්‍රීසීන්ට අල්ලා ගැනීමට බැරි බවට උඩරට සිංහලයන් තුළ පැවැති විශ්වාසයයි. ඉංග්‍රීසීන්ට එම ගල කඩා ඉවත් කිරීමට හැකියාව තිබුණද එය විදීමට ක්‍රියා කොට ඇත්තේ සිංහලයන් සතු එම විශ්වාසය බිඳ දැමීමට බව පැවැසේ.

මෙම ගල විද්ද ස්ථානයේ සවි කොට තිබෙන සමරු ඵලකයේ මෙසේ සටහන් කොට තිබේ. “කොළඹ – මහනුවර මාර්ගය ඉදිකිරීම් භාරව කටයුතු කරන ලද ඉංග්‍රීසී ජාතික ඉංජිනේරු කැප්ටන් විලියම් ෆැන්සිස් ඩෝසන් විසින් ස්වාභාවික චමත්කාරයට හානි නොවන පරිදි මෙම අපූර්ව නිර්මාණය වර්ෂ 1828- 1830 වර්ෂවල පමණ නිම කොට තිබේ.”

කඩුගන්නාව ගල විද්ද ස්ථානය තුළින් රථ වාහන ධාවනය 1980 වසර වනතුරුම සිදු වූ අතර පසුව එම ස්ථානය මගහැර වෙනත් පුළුල් මාර්ගයක් සැකසීමට පියවර ගන්නා ලදී. එසේ මාර්ගය වෙනස් කොට ඇත්තේ කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ ඉදිකරන ලද ජලාශයන් සැකසීම සඳහා උපයෝගි කරගන්නා ලද විශාල යන්ත්‍ර සූත්‍ර රැගෙන යෑම පිණිසය.

ගල විද්ද ස්ථානයේ අද වනවිට වාහන ගමනාගමනය සිදු නොවන අතර, එම කොටස සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ. කඩුගන්නාව දුර්ග මාර්ගයේ ඉහළම ස්ථානය වන්නේ කඩුගන්නාව ඩෝසන් කුළුන අසල ස්ථානයයි. අද ද කඩුගන්නාව දුර්ගයේ රථවාහන ධාවනය කිරීමේදී බොහෝ බර වාහන ධාවනය වන්නේ ඉඹි ගමනිනි. එමගින්ම කඩුගන්නාව දුර්ගයේ තරම කවරෙකුට වුව මනාව වැටහේ.

කොළඹ – මහනුවර මාර්ගයේ දැකිය හැකි පැරණිතම පාලම වන්නේ පිළිමතලාව නගරය ආසන්නයේ පිහිටි නානුඔය පාලමයි. දැනට රථවාහන ධාවනය සඳහා භාවිතයට නොගන්නා මෙම පාලම වර්ෂ 1826 දී කැප්ටන් බ්‍රව්න් විසින් සකස් කොට තිබේ. මීටර් අටක් දිගැති ආරුක්කු තුනකින් යුතුව ගඩොලින් සකසන ලද නානුඔය පාලමේ සම්පූර්ණ දිග මීටර් 28 කි.

එමෙන්ම කොළඹ – මහනුවර මාර්ගයේ මාවනැල්ල මාඔය හරහා ඉදි කොට ඇති මාවනැල්ල ආරුක්කු ගඩොල් පාලමද කැප්ටන් බ්‍රව්න්ගේම නිර්මාණයකි. වර්ෂ 1832- 1833 යන කාලයේදී ඉදිකරන ලද මාවනැල්ල පාලම ආරුක්කු හතරකින් සමන්විත මීටර් 70 ක් දිගින් යුක්තය. වසර 188 ක් පැරණි මෙම පාලම මතින් අදටත් රථ වාහන ධාවනය සිදුකරනු ලබන අතර රථවාහන ධාවනය සඳහා භාවිතා කරනු ලබන මෙරට පැරණිතම පාලම වන්නේද මෙම මාවනැල්ල ආරුක්කු ගඩොල් පාලමය.

කොළඹ – මහනුවර මාර්ගය සම්පූර්ණයෙන්ම සකසා අවසන් වනතුරු ජීවත්වීමේ වාසනාව කැප්ටන් ඩොසන් මහතාට අහිමි වූ අතර ඔහු අධික වෙහෙස මහන්සිය හේතුවෙන් රෝගාතුරව 1829 වසරේ මාර්තු මස 28 දින මියගොස් තිබේ. එහෙත් තවත් මූලාශ්‍රයක සඳහන් වන්නේ කැප්ටන් ඩෝසන් සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් මරණයට පත්වූ බවය. ඉතාමත් සුහදශීලී ප්‍රියමනාප පුද්ගලයෙකු වූ කැප්ටන් ඩෝසන් මහතා මියයෑමෙන් ඉංග්‍රීසීන් පමණක් නොව බොහෝ සිංහල පුද්ගලයන් පවා දැඩිව කම්පාවට පත්ව තිබේ.

ආණ්ඩුකාර බාන්ස් මහතාගෙන් පසුව එම තනතුරට පත්ව ආ ශ්‍රීමත් රොබට් හෝර්ටන් මහතා විසින් ඉතාමත් කාර්යය ශූර ඉංජිනේවරයෙකු වූ කැප්ටන් ඩෝසන් මහතාගේ සේවය ඇගයීම පිණිස ස්මාරකයක් තැනීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුවට කරන ලද යෝජනාවකට ඔවුන් අවසර දෙන ලදී. ඒ අනුව කැප්ටන් ඩෝසන් මහතාගේ මිත්‍රයන් විසින් මුහුදු මට්ටමේ සිට අඩි 1730 ක් උස කඩුගන්නාව දුර්ගයේ කෙලවර අඩි 125 ක් උසැති ඩෝසන් කුළුන ඉදිකරන ලදී. මෙම කුළුන සැකසීම සඳහා පවුම් 343 ක් වැය වී ඇති අතර කුළුනේ අත්තිවාරම සකස් කිරීමට භාවිතා කොට ඇත්තේ කඩුගන්නාව ගල විද උමග සකසාලීමට ඉවත් කරන ලද කළුගල් කොටස්ය.

බ්‍රිතාන්‍යයන් විසින් එසේ අනේකවිද දුක් ගැහැට මැද ඉදිකරන ලද කොළඹ – මහනුවර මාර්ගය 1832 වසරේදී බොරළු දමා සකස් කොට වැඩ අවසන් කරන ලදී. ආසියාවේ පළමුවරට අශ්ව කෝච්චි සේවය 1832 වසරේදී කොළඹ – මහනුවර මාර්ගයේ ආරම්භ කෙරිණි. දැනට වසර 200 ක් පමණ පැරණි කොළඹ – මහනුවර මාර්ගය මෙරට මාර්ග පද්ධතියේ මාර්ග අංක එක ලෙස සැලකෙන ඉතාමත් සුන්දර මාර්ගයකි.

ඒකී මාර්ගයේ සුන්දරම ස්ථානය ලෙස ප්‍රසිද්ධව ඇත්තේ දැනට නායයාමේ දැඩි තර්ජනයට ලක්ව ඇති කඩුගන්නාව ප්‍රදේශයයි.

සටහන හා ඡායාරූප
තලවකැලේ ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x