විශේෂාංග

දැක්කොත් පද්මාවතී ලංකාවේද?

දැක්කොත් පද්මාවතී

ආලේ නොකරා බැරී
ළමැද හංසයින් සේ පෙනේ
ආලේ නොකරා බැරී

1910 වසරේ ජෝන් ද සිල්වා නූර්තිවේදියා විසින් පද්මාවත් කාව්‍යය ඇසුරෙන් නිර්මාණිත පද්මාවතී නූර්තියේ ගී ඛණ්ඩය, අප මතකයන් දශක කිහිපයක් ඈතට යොමු කරවන්නේ නිරායාසයෙනි. නීතිඥ චාල්ස් ඩයස් මහතා තමන් අතට පත් මෙම පිටපත ඇසුරෙන් පද්මාවතී නූර්ති නාට්‍යය නිමවා, හෙතෙම ක්‍රි.ව. 1914 දී ටවර් රඟහලෙහි වේදිකාගත කළේය. එම නාට්‍යයේ එන තත් ගීතය යුග යුග ගණනාවක් තුළ රසික හදවත් ප්‍රීනනය කළ, පැරැන්නන් මුවඟ නිරතුරු නින්නාද වූ සදා අමරණීයත්වයට පත් නූරති ගීයකි.

පද්මාවතී කුමරියගේ කාලයේ කඩතුරාවෙන් වැසී ගිය තොරතුරු පිරික්සීමේදී මලික් මොහොමඩ් ජයසි නම් කවියා අතින් පර්සියානු භාෂාවෙන් රචිත පද්මාවත් කාව්‍යය පරිශීලනය බෙහෙවින්ම වැදගත්වේ. පද්මාවත් කාව්‍ය ලියවෙන්නේ ක්‍රි.ව. 1540 වසරේදීය. මෙම කාව්‍ය ආකෘතිය හැඳින්වෙන්නේ සුෆි කාව්‍ය සම්ප්‍රදාය ලෙසිනි. කාව්‍යයට තේමා වන්නේ, අද්විතීය රූ සපුවකින් හෙබි පද්මාවතී කුමරියගේ ලාවන්‍යයීය දිවි පෙවෙතයි.

සිංඝල් දේශය ඇයගේ ජන්ම භූමිය බැව් කාව්‍යයේ සඳහනි. කාලවකවානු වශයෙන් ඇය ජීවත්ව ඇත්තේ දඹදෙණි යුගයෙහිය. එහි සිංඝල් දේශයේ රජුගේ දුව ලෙසින් ඇය හැඳින්වේ. සිංඝල් දේශය ලෙස කාව්‍යයේ වන සඳහන සිංහල දේශය යන අරුත් ගෙනදේ. පද්මාවත් කාව්‍යයේ පැවසෙන පරිදි, පද්මාවතිගේ පියා ගාන්ධර්ව සේනා නමැති පාලකයෙකි. චම්පාවතී බිසව මව ලෙසින් දැක්වේ. දඹදෙණි රාජ්‍ය පාලන කාලය තුළ ගාන්ධර්ව සේනා නමින් රජ කෙනෙක් පිළිබඳව කිසිදු ඓතිහාසික මූලාශ්‍රයක සඳහන් නොවේ. ඒ අනුව මොහු ප්‍රාදේශීය පාලකයකු වශයෙන් සිටින්නට ඇතැයි අනුමාන කළ හැකිය.

ඒ අතර ජෝන් ද සිල්වා නාටක ඉතිහාසය නමින් 1963 වසරේදී ඇල්.ඩී.ඒ. රත්නායක මහතා විසින් රචිත ග්‍රන්ථයේ සඳහන් වන්නේ පද්මාවතී නාටකය ජෝන් ද සිල්වා මහතා වර්ෂ 1910 දී ප්‍රබන්ධ කළේ එවකට ඇතුගල්පුර රාජධානියේ කතාවක් ආශ්‍රයෙන් බවය. භාරතයේ රාජස්ථානයේ හමීර් සිං නමැති රාජ්පුත් කුමරෙකුට දාව සරස්වතී නම් කුමරියක පුත් කුමරෙක් බිහි කළාය. එම කුමරුවා ඇතුගල්පුරයෙහි රජ කළ සිවු වැනි බුවනෙකබා රජු විසින් පුත්‍ර ස්ථානයේ තබා ඇතිදැඩි කළ බව දැක්වේ. ඔහු වැඩිවිය පත්ව බලඇණි ගෙනැවිත් බුවනෙකබා රජු නෙරපා සිංහලය අත්පත් කොට රාජ්‍යය විචාල බව සඳහනි.

පසු කලෙක ඒ කුමරුන්ගේ සුන්දර රූ සපුවකින් යුත් දියණිය පද්මිණිය රාජ්පුත්හි චිත්තෝර් නගරයේ භීම සිං රජුගේ බිසව වූ බවත්, කොඩ්ඩ්‍රිංටන් මහතා සටහනක් තබා ඇති බව රත්නායක මහතා ඔහුගේ ග්‍රන්ථයේ සඳහන් කරයි. මෙම පුවතෙහි සත්‍ය අසත්‍යතාව මතුකර ගැනීම පිණිස පුළුල් පුරා විද්‍යා සමීක්ෂණයක් කළ යුතුව ඇත.

පරණවිතාන මහතාගේ Collected articles of Paranavithana නම් ලිපි සංග්‍රහයෙහි, පද්මාවතී ලංකාවේ ජීවත්වුණු ඉන්දියානු රජ කුමරියක් විය හැකි බවට අදහසක් දක්වා ඇත. ඉතිහාසඥයන් පෙන්වා දෙන පරිදි ක්‍රි.ව. 1220 – 1345 ත් අතර කාල වකවානුවේ දඹදෙණි රාජධානිය සහ ඉන්දියාවේ රාජ්පුත්වරුන් අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පැවති බැව් සනාථවේ.

පද්මාවතී කුමරිය ඕනෑම බසක් පැහැදිලිව කතා කළ හැකි, හිරාමන් නම් අද්භූත ගිරවෙක් සුරතලයට ඇති කළාය. දවසේ වැඩි කාලයක් තම දූ කුමරිය ගිරවා සමග සල්ලාපයෙහි යදී සිටීම පිය නිරිඳුන් නොරිස්සනා සුළුවිය. ගිරවා තම දුවණියට හොරා මරා දමන ලෙස රජු රාජ පුරුෂයෙකුට අණදිණි.
ගිරවා දිවි රැකගන්නට රජ මැදුරෙන් පලා යද්දී දඩයක්කරුවකුට හසුවෙයි. ඔහු චිතෝර් නමැති රාජධානියෙන් පැමිණි බ්‍රාහ්මණයෙකුට ගිරවා විකුණා දමයි. බ්‍රාහ්මණයා සිය රටට ගොස්, මිනිස් බසින් කතා කරන ගිරවා චිතෝර් රජු රතන් සේන් වෙත භාරදෙයි.

පද්මාවතී කුමරිය රූ සොබා, හිරාමන් ගිරවා රතන් සේන් රජු සිත් උමතු වන සෙයින්, ඔහු සවනත තබයි. රජුට පද්මාවතිය සියසින් දකිනතුරු ඉවසුමක් නොවීය. ඒ අනුව, ගිරවාගේ උපදෙස් අනුව, පද්මාවතී විවාහ කරගැනීමේ අපේක්ෂාවෙන් රතන් සේන් 16,000 ක සේනාවක් සමග සිංහල දේශය බලා පැමිණෙන්නේ සත් සමුදුර තරණය කරමිණි. තම සේනාව සඟවා, තාපසයකු මෙන් වෙස්වලාගෙන රතන් සේන් ආශ්‍රමයකට වී අපේක්ෂාවෙන් සිටියේ, පද්මාවතී එහි පැමිණෙන බව ගිරවා පවසා තිබූ හෙයිණි.

අනතුරුව රතන් සේන්, ගාන්ධර්ව් සේන් රජුගේ මාලිගයට රහසිගතව පිවිසෙයි. එම අවස්ථාවේදී හේ ගාන්ධර්ව් සේන්ගේ අත්අඩංගුවට පත්වේ. ඔහුට මරණ දඬුවම දීමට රජු නියම කරද්දී, තම අත්අඩංගුවේ සිටින්නේ චිතෝරයේ රතන් සේන් රජු යැයි අනාවරණය වෙයි. දෙපාර්ශවය අතර මිත්‍රත්වයක් ගොඩනැගෙයි. ගාන්ධර්ව් සේන් සිය දියණිය පද්මාවතී රතන් සේන්ට විවාහ කරදෙයි. පද්මාවතී, රතන් සෙන් සමඟ චිතෝර් දේශය බලා යෑමට සැරැසෙන්නේ තවත් කුල ස්ත්‍රීන් 16,000 දෙනකු, රතන් සේන් තමන් සමග පැමිණි සගයන්ට විවාහ කරදීමෙන් පසුවය.

චිතෝරයට පැමිණීමෙන් පසු, රතන් සේන්ගේ පළමු බිරිය නාග්මතී සිත්හි පද්මාවතී ගේ විස්මිත රූ සපුව කෙරෙහි දැඩි ඊර්ෂ්‍යාවක් පහළවේ. නාග්මතී, පද්මාවතීට වෛර කරයි. මේ අතරතුරේ රාජ සභාවේ අර්බුදයක් හටගනී. ඒ රතන් සේන් සහ ඔහුගේ රාජසභාවේ බ්‍රාහ්මණයකු වන රාඝව් චේතන් අතරේය.
රතන් සේන් රජු, රාඝව් චේතන් රටින් පිටුවහල් කරයි. රාඝව් චේතන් දිල්ලිය බලා යන්නේ පළිගැනීමේ චේතනාව සිත්හි දරාගෙනය. දිල්ලියේ පාලකයා සුල්තාන්වරයෙකි. ඔහු අලාඋද්දීන් කලීජිය. රාඝව් චේතන්, කලීජි හමුවී, පද්මාවතී බිසවගේ රූසපුව පිළිබඳව අතිශෝක්තියෙන් වර්ණනා කරයි.

පද්මාවතී තම බිසව කර ගැනීමට කලීජි පෙළඹෙන්නේ මෙම අවස්ථාවේදීය. කලීජි කුරිරු මෙන්ම ප්‍රචණ්ඩ මෝගල් ආක්‍රමණිකයෙකි. කලීජි සිය මහා හමුදාව මෙහෙයවා විතෝර් රාජ්‍යය වටලයි. කලීජිට චිතෝර් රාජ්‍යය අල්ලා ගැනීමට නොහැකිවූ තන්හි, කලීජි රතන් සේන් රජු මිතුරු කරගැනීමට සමත්වෙයි. ඒ සාම ගිවිසුමක් හරහාය. ඉන්පසු රතන් සේන් රජු මිත්‍රත්වයෙන් දිල්ලියට කැඳවා ගෙන යාමට හේ උපායශීලී වෙයි. මෙම කෘර රජු සිය රට පැමිණි විගස රතන් සෙන් අල්ලා සිර කරයි.

චිතෝර් රාජ්‍යයේ අසල්වැසි රාජ්‍යය වූ කුම්භාල්නේර් රාජ්පුත් පාලක දේව්පාල් ද පද්මාවතීට ඇලුම් කිරීමට පෙළඹෙයි. රතන් සේන් දිල්ලියේ සිරකරුවකුව සිටියදී ඔහු පද්මාවතී විවාහ කරගැනීමට සැරසෙයි. පද්මාවතී ඊට විරෝධතාවය දක්වයි.

කලීජිගේ උපායට තම සැමියා හසුවුණු බව වැටහුණු පද්මාවතී, රතන් සේන්ට පක්ෂපාතී කණ්ඩායමක් ද සමඟ වෙස්වලාගෙන දිල්ලියට ගොස් සටන් කර රතන් සෙන් මුදා ගනී. චිතෝරයට පැමිණි පසු පද්මාවතී, දේව්පාල් ගේ අයුතු යෝජනාව රතන් සේන්ට පවසයි. කෝපයට පත්වන රතන් සෙන්, දේව්පාල් සමඟ ද්වන්ධ සටනකට එළඹේ. සටන අවසන් වන්නේ, දේව්පාල් සහ රතන් සෙන් යන දෙදෙනාම මියයෑමෙනි.

රතන් සෙන් මියගිය බව සැලවුණු සැණින්, කලීජි යළි චිතෝර් රාජ්‍යයට පැමිණෙන්නේ එය ආක්‍රමණය කරමින් පද්මාවතී ලබාගැනීමේ අපේක්ෂාවෙනි. එම අවස්ථාවේදී මුස්ලිම් ආක්‍රමණිකයාගෙන් බේරී, තම ගෞරවය රැක ගනිමින් පද්මාවතී, නාග්මනී ඇතුළු සෙසු කාන්තාවෝ රතන් සෙන්ගේ අවමංගල චිතකයට පැන දිවි නසා ගනිති. තම මියගිය ස්වාමියාගේ දැවුම් සෑයට පැන සියදිවි පරිත්‍යාග කිරීමේ ඉන්දියාවේ පවත්නා සති පූජාවට සමාන චාරිත්‍රයක් චිතෝර් රාජ්‍යයේද සුපතලව පැවතිණි. එය හැඳින්වෙන්නේ ජොහාර් (ස්වයං දිවි නසාගැනීම) චාරිත්‍රය යනුවෙනි.

මුස්ලිම් ආක්‍රමණිකයකුගෙන් සිය ගෞරවය ආරක්ෂා කර ගැනීමට ගිනි දෙවියාට සිය ජීවිතය පුද කළ වීර හින්දු රැජිනක ලෙසින් හින්දු ජාතිකයෝ අදත් මහත් බැතියෙන් ඇය සමරති.
ඉන්දීය ඉතිහාසඥයන් පැහැදිලිවම අවධාරණය කරන්නේ, කලිජි ක්‍රි.ව. 1303 දී චිතෝර් රාජධානිය වටලෑම ඓතිහාසික සිදුවීමක් බවය. ඊට අමතරව වර්තමානයේ පවා දක්නට ලැබෙන චිත්තෝර් මාලිගය, රතන් සෙන්, අලව්දීන් කල්ජි වන් කතාවේ ප්‍රධාන පාත්‍ර වර්ගයා පිළිබඳව පවත්නා ඓතිහාසික ලිඛිත මූලාශ්‍ර අලව්දීන් මුද්‍රාව සහිතව හමුවී ඇති කාසි ආදියෙන් තහවුරු වන්නේ මෙම කතාව සත්‍ය සිදුවීම් ඇසුරෙන් රචිත වෘතාන්තයක් බවය.

මේ අනුව සත්‍ය ඓතිහාසික චරිත කිහිපයකට නිර්මාණශීලී වර්ණනා ද ගලපා පද්මාවතී කාව්‍ය, රස පූර්ණ සාහිත්‍ය කෘතියක් ලෙසින් ඉදිරිපත් කර ඇති සෙයක් විද්‍යාමානිතය. පද්මාවතී ඇසුරෙන් මේ වනවිටත් චිත්‍රපට කිහිපයක්ම නිර්මාණය වී තිබේ. 1964 වසරේදී හින්දි බසින් මහාරාණි පද්මිණි නමින් චිත්‍රපටයක් නිර්මාණය විය. 1963 දී චිතෝර් රාණි පද්මිණි යන නමින් දෙමළ චිත්‍රපටයක් ද සිනමා වංශයට එක්විය.

චිතෝර්ගාර් කොටුව ඇත්තෙන්ම නටබුන් වී ඇත. එහි වැසියන් මියගොස්ය. සියල්ල කාලයේ වැලිතලාවෙන් වැසී ගොස්ය. එනමුදු නිබයව සිය පති භක්තිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ සුරූපී පද්මාවතී දේවියගේ ස්වරූපය යුග යුග සජීවීමත්ව පවතිනු නිසැකය.

ආචාර්ය ගාමිණී කාරියවසම් – ලංකාදීප පුවත්පත.

 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x