තරු කතා

ඇත්තටම ලංකාවේ ගොසිප් සයිට්වලට මම රට ගිය එක විශාල ගැටලුවක් වුණා

මේ දවස්වල වැඩකටයුතු මොනවද?

ඇත්තටම හිතාගන්නට බැරි විධියට මේ දවස් ටිකේ කාර්යබහුලයි. මොකද අලුත් අවුරුද්දත් ළඟම එන නිසා නාළිකාවලින් කරන විවිධ වැඩසටහන්වලට සම්බන්ධ වුණා. ලංකාවේ සියලුම මාධ්‍ය නාළිකා මා සමඟ හරිම හිතවත්නේ. ඊට අමතරව භාගෙට වැඩ අවසන් කළ ටෙලි නාට්‍ය කිහිපයකත් නැවත වැඩ ආරම්භ කළා. කොහොමත් ලබන අප්‍රේල් මස 21-22 වගේ වනතුරුම මම කාර්ය බහුලයි.

මෙවර කොපමණ කාලයක් ලංකාවේ රැඳී සිටිනවාද?

මෙවර කොහොමත් මාස 04ක පමණ කාලයක් ලංකාවේ රැඳී ඉඳීවි.

එතකොට ඔබ රට අතහැරලා ගියා කියන කතාව බොරුවක්ද?

ඇත්තටම ලංකාවේ ගොසිප් සයිට්වලට මම රට ගිය එක විශාල ගැටලුවක් වුණා. මම මට අවශ්‍ය කාලයට විදේශගත වෙනවා. එය අනික් අය ගැටලුවක් කරගත යුතු නැහැ. “මා රට අත හැරගොස්” කියලා පසුගිය කාලයේ ගොසිප් සයිට්වල සඳහන් වුණා. ඇත්තටම ඉතින් පේජ් කරන අය, කිසිම වැදගත්කමක්, තේරුමක් නොමැති, බොරු දේවල් ඔවුනට ඕන විධියට රස ගන්වමින් පළ කරනවා. මම කැමති වෙලාවට ලංකාවෙන් යන්නත්, ලංකාවට එන්නත් මට නිදහස තිබෙනවා. ඒ හැර මගේ රට දමා යන්නට තරම් වෙනත් ගැටලුවක් හෝ කලකිරීමක් තවම නම් මට ඇති වෙලා නැහැ.

ඔබ මෙවර හදිසියේම ලංකාවට පැමිණීමට හේතුව වශයෙන් Ceylon24x7.com වෙබ් පිටුව තුළ අසත්‍ය පුවතක් පළ කොට තිබුණා. ඒ සම්බන්ධව යමක් කීවොත්?

හදිසියෙන් නම් ලංකාවට ආවේ නැහැ. ඇත්තටම ඔය වෙබ් අඩවියේ සඳහන් වන දෙය සම්බන්ධයෙන් නම් මම කිසිම දෙයක් දැනන් සිටියේ නැහැ. දරුවන්ටත් නිවාඩු ලැබුණු නිසා අපි තුන්දෙනාම ලංකාවට ආවා. ඒ හැර වෙනත් විශේෂ හේතුවක් නැහැ. පසුගිය කාලයේදී මම විදේශගත වුණේ, මගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ ඔවුන්ගේ අනාගත වැඩකටයුතුවලට අදාළ ඉදිරි සැලසුම් උදෙසායි. ඇත්තම කතාව එයයි.

එවැනි අසත්‍ය තොරතුරු පළ කිරීම තුළ ඔබ වුණත් දැඩි ලෙස අපහසුතාවට පත් වෙනවා නේද?

මෙහෙමයි. කෙනෙක් නොකරපු, නොදන්න දෙයක් ඇත්තටම කළා වගේ ගොසිප් සයිට්වල පළ කරන්නේ ඇයි කියලා මම දන්නේ නැහැ. ඇත්ත හෝ බොරු වේවා, තවත් කෙනකුගේ පෞද්ගලික ජීවිතයක තොරතුරු කිසිදු අවසරයක් නොමැතිව පළ කිරීමටද ඔවුනට කිසිදු අයිතියක් නැහැ. එසේ කරනවා නම් එය මහා ජරා වැඩක්. එවැනි දේවල්වලින් පෙනෙන්නේ අපේ ලංකාවේ මිනිසුන්ගේ හැටි තමයි. ඒ තරමටම අපේ ඇතැම් අය පහත් තත්ත්වයට පත් වෙලා.

තමන්ට මුදල් ලැබෙනවා නම් තවත් කෙනකුගේ චරිතය ඝාතනය කොට හෝ මුදල් ලබා ගන්නවා. එවැනි අන්තිම කුහක මිනිස්සු කොට්ඨාසයක් අපේ ලංකාව තුළ සිටිනවා. ඇතැම් විට මගේ ෆොටෝවලට, මාව ඇසින් නොදුටු මිනිසුන් පවා බැනලා කමෙන්ට් කරනවා. ඒ අයුරින් පහත් ආකාරයට මට බනින්නට තරම් මම ඒ අයට කරපු වැරැද්ද මොකක්ද? ඊර්ෂ්‍යාව, කුහකකම පිරුණු අතිශය අපිරිසුදු සිත් තිබෙන මිනිසුන් තමයි එවැනි දේවල් කරන්නේ. ඒ පිළිබඳ කතා කිරීමට මට වචන නැහැ. ඇත්තටම මෙවැනි දේවල් කරලා නම් මාව නම් වට්ටන්න ලැබෙන්නේ නැහැ.

සමාජ මාධ්‍ය අවභාවිත කරමින් ඔබ වැනි ජනප්‍රිය රංගන ශිල්පිනියන්ට අපහස කරන එවැනි පිරිසට මොනවද කියන්න තිබෙන්නේ?

ඇත්තටම එවැනි පිරිස් හට මට කියන්නට දෙයක් නැහැ. මිනිස්සුන්ගේ ජීවිත සම්බන්ධයෙන් එවැනි අසත්‍ය සිදුවීම් පළ කිරීමේදී, මීට වඩා වැදගත් විදිහට, වගකීම් සහගතව හැසිරිය යුතුයි. ඇත්තටම මට එවැනි අසත්‍ය චෝදනා, කටකතා දරාගැනීමේ ශක්තිය හොඳින්ම තිබෙනවා. එනිසා එවැනි අසත්‍ය ප්‍රචාරයන් මම එතරම් ගනන් ගන්නේ නැහැ. නමුත් දරාගැනීමේ ශක්තියක් නොමැති අයගේ පවුල් අතර අනවශ්‍ය ගැටලු ඇතිවීම, ඇතැම් විට සිය දිවිනසා ගැනීමේ තැනට පවා පත් වීමට මෙවැනි සිදුවීම් හේතු විය හැකියි.

ලංකාවට ආ පසු නැවතත් රංගන කටයුතුවලට සම්බන්ධ වුණා නේද?

Once Upon a Time in Colombo ටෙලි නාට්‍යය මම බොහොම ආසාවෙන් සම්බන්ධ වූ නිර්මාණයක්. එහි රූගත කිරීම්වලට සම්බන්ධ වී චරිතයේ රූගත කිරීම් අවසන් කළා.

පාරදිගේ ටෙලි නාට්‍යයේ “පුෂ්පා නෝනාගේ” චරිතයට නැවතත් සම්බන්ධ වන්නේ නැද්ද?

ලංකාවට පැමිණියාට පසු පාර දිගේ ටෙලි නාට්‍යයේ කිසිදු රූපගත කිරීමකට මාව සම්බන්ධ කරගත්තේ නැහැ. එනිසා එම නිර්මාණයේ ඉදිරියේදී මම ඉන්නවද-නැද්ද කියලා මම දන්නේ නැහැ. මොකද ඒ නිර්මාණයෙන් මට එහෙම දැනුවත් කිරීමක් කළෙත් නැහැ. මම ලංකාවට ඇවිත් දැන් සති දෙකක් වෙනවා. මම ලංකාවට එන්න කලිනුත් මම ආපසු ලංකාවට එන බව ඔවුනට දැනුම් දුන්නා. නමුත් අද වනතුරු නම් කතා කළේ නැහැ. ඒ හැර අලුත්ම නිර්මාණවලට නම් ආරාධනා භාර ගත්තේ නැහැ. මොකද ඉදිරියේදී දිගටම රූගත කිරීම්වලට සම්බන්ධ වෙන්න තරම් කාලයක් ලැබෙන එකක් නැහැ.

ඔබ කලා ක්ෂේත්‍රය සහ එහි වැඩකටයුතු පිළිබඳව යම් කලකිරීමකින්ද කතා කරන්නේ?

ඇත්තම කියනවා නම් පසුගිය කාලය පුරාවටම කලා කටයුතු සම්බන්ධයෙන් මම ලොකු කලකිරීමකින් තමයි සිටියේ. එනිසා ඉදිරියේදී රඟපෑම් කටයුතුවලට සම්බන්ධ වීමට ලොකු ආසාවක් නැහැ. පහසුවෙන් අවසන් කළ හැකි නිර්මාණයක් හෝ දෙකක් ලැබුණොත් කරනවා. ඒ හැර විශාල කාලයක් වෙන් කරන්නට බැරි වෙයි. පරණ කරපු නිර්මාණ ඉදිරියේදී විකාශය වේවි. ඒ හැරුණුකොට නැවත අලුත්ම නිර්මාණවලට නම් සම්බන්ධ වෙන එකක් නැහැ.

ස්ථීර පදිංචියට විදේශගත වීමට අදහසක් නැද්ද?

මෙහෙමයි. එය අද තීරණය කරන්න බැහැ. මොකද මොනයම් හෝ රටක ස්ථීර පදිංචියට යනවා කියන එක ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. යූටියුබ් නාළිකාවල සඳහන් වන පරිදි, යම් වැඩකට අපි එළියට බැස්ස විටදී, “රට අතහැරලා ගියා කියලා” මුළු රටේම කතා-බහට ලක්වන ආකාරයේ නිවුස් නිර්මාණය වනවා. ඔවුන් කියන පරිදි එක රැයකින් රටක් අත්හැරලා යන්න බැහැ. මොකද මගේ රූපලාවණ්‍යාගාරයන් සහ මගේ නිවෙස තිබෙන්නේ මේ රටේ. ඒ දේවල් අතරමඟ දමා යන්නට බැහැ. එනිසා රට අත්හැර යනවද කියන එක සම්බන්ධව දැන්ම එකවර නිශ්චිත පිළිතුරක් දෙන්න බැහැ.

දිනූෂා මනෝරි නිශ්ශංක – මව්බිම පුවත්පත.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x