කුකුල් මස් – ඌරු මස් වී සිදුවුණු දේ

මහරගම නගරයේ අවන්හලකට බීමතින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු කළ ආහාර ඇණවුමක් සම්බන්ධයෙන් වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් දෙපාර්ශවය අතර පහරදීමක් සිදුව ඇති අතර ඉන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව මහරගම පොලිසිය පවසයි.
පහරකෑමට ලක්වූ බව පැවසෙන පුද්ගලයින් දෙදෙනාගෙන් තත්ත්වය සාමාන්‍ය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය .
මහරගම පිළියන්දල පාරේ අවන්හලකට රාත්‍රී ආහාර ගැනීම සඳහා පුද්ගලයින් දෙදෙනකු බීමතින් පැමිණ ඇති අතර ආහාරය සඳහා කුකුල් මස් ඇනවුම් කර තිබේ .එහිදී අත්වැරදීමකින් කුකුල් මස් වෙනුවට ඌරු මස් ලබාදීම සම්බන්ධයෙන් අවන්හලේ කාන්තාවක් සමඟ එහි සිටි පුද්ගලයෙකු බහින්බස් වීමක් හටගෙන ඇතැයි පැවසේ.පසුව එය දුරදිග ගොස් ඇති අතර එහිදී අවන්හලේ රැඳී සිටි පුද්ගලයන් පිරිසක් ඊට මැදිහත් වීම හේතුවෙන් දෙපාර්ශවය අතර ගුටිබැට හුවමාරුවක් ද සිදු ව තිබේ .
එහිදී පොලු මුගුරු වලින් පහර දී ඇති අතර ඉන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු මෙසේ කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පැවසේ .පහර දුන් බව පැවසෙන පුද්ගලයින් මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට නියමිත බව මහරගම පොලීසිය පවසයි .
සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රමේෂ් රත්නසිංහම් මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පවත්වති
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න