තරු කතා

මම කැපිලි කෙටිලිවලට ප්‍රතිචාර දක්වන්න යන්නේ නැහැ

ඔහු තාරුණ්‍යය නියෝජනය කරන දක්ෂ තරුණ කලාකරුවෙක්. කුඩා කල සිටම කලාවත් සමඟ ගනුදෙනු කළ ඔහුට පුංචි තිරය නුහුරු තැනක් නම් නොවේ. අද අපේ කතානායකයා “හිත ළඟ හිනැහුණා”. ටෙලි නාට්‍යයේ සිහිනගේ චරිතයට පණ පොවන ඔහුයි. ඔහු නමින් දෙව්නක පෝරගේ. මේ දිගහැරෙන්නේ හදගැස්ම අපි ඔහුත් සමඟ සිදුකළ කතාබහයි.

මේ දවස්වල වැඩ කටයුතු සිදුවන්නේ කොයි ආකාරයටද? 

මේ දවස්වල ධනුෂ්ක රත්නායක මහතාගේ “හිත ළග හිනැහුණා” ටෙලි නාට්‍යය සිරස නාළිකාවේ විකාශය වෙනවා. ඒ වගේම චරිත් අබේසිංහ මහතා අධ්‍යක්ෂණය කරන සම්පත් වෙදගේ මහතා නිෂ්පාදනය කරන “නම්බර් 9” ටෙලි නාට්‍යයත් ඉදිරියේදී විකාශය වීමට නියමිතයි. සංජය නිර්මාල් මහතාගේ Behind the Stage (BTS) කියන අලුත් ටෙලි නාට්‍යයේත් වැඩ කරගෙන යනවා.

හිත ළග හිනැහුණා ටෙලි නාට්‍යයේ “සිහින” ගැන කියමුකෝ? 

ඇත්තටම සිහින කියන්නේ තමන්ගේ සැබෑ අම්මා – තාත්තා ළඟ හැදී වැඩීමට අවස්්්ථාව නොලබපු දරුවෙක්. ධනවත් පවුලක උපත ලද සිහිනට යම් හේතුවක් නිසාවෙන් තම සැබෑ මවුපිය සෙනෙහස අහිමිවෙනවා. උපන් ගමන් මැරුණා යැයි සිතා සිහිනව සොහොනකට ගෙන ගියද, ජීවත්වීමේ වාසනාව ලද ඔහු වෙනත් පුද්ගලයකු ළඟ හැදී වැඩෙනවා. එලෙස අවුරුදු 20ක තරුණයකු බවට පත්වීමෙන් පසුව, අතීත සිදුවීම් එකිනෙක පෙළගස්සමින් තම සැබෑ මවුපියන් සොයා යන අතරතුර සිහිනට මුහුණ දීමට සිදුවන රසවත් සිදුවීම්වල එකතුවක් වටා තමයි කතාව ගලාගෙන යන්නේ. ඒ අතර විශාල් සහ සිහින කියන තරුණ ජීවිත දෙක වටා තමයි ප්‍රධාන වශයෙන්ම කතාව ‍ෙදා්ලනය වන්නේ.

කතාව තුළදී සිහින ප්‍රේමවන්තයෙක්නේ. ප්‍රේම ජවනිකා රඟ දැක්වීම ඔබට නම් අසීරු කටයුත්තක් නොවෙයි නේද? 

මෙහෙමයි එකම ගැහැනු ළමයකුට සිහින සහ විශාල් කියන දෙදෙනාම ප්‍රේම කරනවා. නමුත් ඇය ඔවුන් දෙදෙනාගෙන් කාටවත්ම ප්‍රේම කරන්නෙ නැහැ. ඇයගේ නම කිරුළි. ඇය ඉතාම දඟකාර, කටකාර සැහැල්ලුවෙන් ජීවත් වෙන තරුණියක්. හරියටම කිව්වොත් තුන්කොන් ප්‍රේමයක් වටා තමයි කතාව ගලාගෙන යන්නේ.

සිහිනට ලැබෙන ප්‍රතිචාරත් ඉතාම ඉහළයිලු නේද? 

ඔව්. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මොකද මේක අහිංසක චරිතයක් නිසාවෙන් හැමදාම වගේ අහිංසක චරිතවලට ලැබෙන ප්‍රතිචාර ටික ඒ විධියටම මේ චරිතයටත් ලැබෙනවා.

නාට්‍යය තුළ ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය ගැන කතා කළොත්? 

නාට්‍යය තුළදී සරත් කොතලාවල අයියා, අෂිකා මතසිංහ අක්කා ඇතුළු නම් වශයෙන් සඳහන් නොකළත් “හිත ළඟ හිනැහුණා” නාට්‍යයට සම්බන්ධ වෙලා සිටින සියලුම දෙනාගෙන් ඇත්තටම ඉතාම හොඳ සහයෝගයක් ලැබෙනවා.

ඔබ කලාවට අවතීර්ණ වන්නේ ඉතාම කුඩා කාලයේදී. ඒ අතීතය ගැන යමක් කීවොත්? 

අවුරුදු 6-7 කාලයේදී තමයි මුලින්ම මම මේ ක්ෂේත්‍රයට අවතීර්ණ වුණේ. ඒ කියන්නේ මම දැන් මේ ක්ෂේත්‍රයට පැමිණ අවුරුදු 17කට වැඩියි. මගේ නැන්දා සහ මාමා වන නිමන්ති පෝරගේ සහ ප්‍රභාත් රෝෂන් හරහා තමයි මම ක්ෂේත්‍රයට ආවේ. මුලින්ම සෙල්ලම් ගෙදර කියන ටෙලි නාට්‍යයට තමයි සම්බන්ධ වුණේ. ඉන්පසුව “වනිතා වාසනා” වෙළෙඳ දැන්වීමට සම්බන්ධ වුණා. උමයංගා වික්‍රමසිංහ සහ උපේක්ෂා ස්වර්ණමාලි අක්කලා දෙන්නා සමඟ තමයි එයට දායක වුණේ.

ප්‍රේමවන්තයාගේ චරිතයෙන් ඔබ්බට යන්නට අදහසක් නැද්ද? 

ඇත්තටම තිබෙනවා. යම් චරිතයක් භාර ගැනීමට ප්‍රථම එම චරිතයෙහි පරාසය හඳුනාගත යුතුයි. එනම් චරිතයෙහි අගමුල කුමක්ද කියන දේත් හොඳින්ම තේරුම් ගත යුතුයි. අදාළ චරිතයෑමට Play කළ හැකිද, නරඹන්නන්ට අදාළ චරිතය ප්‍රියමනාප ද කියන දේත් බැලිය යුතුයි. ඒ ආකාරයෙන් මට කළ හැකි චරිත පමණයි මා තෝරා ගන්නේ.

ඉදිරියේදී සම්බන්ධ වීමට ආස කරන චරිතයක් තිබෙනවාද? 

ගොළු චරිතයක් කරන්නට ඉතාම කැමැත්තෙන් ඉන්නවා. මා කෙදිනකවත් එවැනි චරිතයක් කරලා නැහැ. එය වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි දේ මුහුණේ ඉරියව් සහ අංගචලන තුළින් ඉදිරිපත් කළ හැකි ගණයේ විශේෂිත චරිතයක්නේ.

ක්ෂේත්‍රය තුළදී ඔබට කැපිලි කෙටිලි කියන දේවල්වලට එහෙම මුහුණ දෙන්නට සිදු වී නැද්ද? 

කැපිලි කෙටිලි කියන දේ මේ ක්ෂේත්‍රය තුළ පමණක් නොව සෑම තැනකම තිබෙනවා. ඒවා අපට නවත්වන්නට බැහැනේ. මෑත කාලයේදීත් එවැනි දේවලට මටත් මුහුණ දෙන්නට සිදුවුණා. ඇත්තටම මම එවැනි දේවල්වලට ප්‍රතිචාර දක්වන්නට යන්නේ නැහැ. එවැනි දෙයකට මුහුණ දෙන්නට වේවි යැයි පොඩි හරි ඉඟියක් ලැබුණොත් එතැනින් ඉවත් වී පාඩුවේ ඉන්නවා. අපි අපේ වෘත්තිය හරියාකාරව කරලා ගෙදර එනවා. ඒ හැර තමන්ගේ පෞද්ගලික ජීවිතයට එවැනි දේවල් අදාළ කරගත යුතු නැහැ.

අද වනවිට බහුතරයක් තරුණ පිරිස තම ජනප්‍රියත්වය උදෙසා සමාජ මාධ්‍ය අවභාවිත කරනවා. එය ඔබ දකින්නේ කොහොමද? 

මෙහෙමයි, සමාජ මාධ්‍ය තුළ Bad Publicity සහ Good Publicity කරන දෙවර්ගයක් ඉන්නවා. එතැනදී මම කියන්නේ නැහැ Bad Publicity නරකයි කියලා. එය තම කැමැත්ත මත සිදුවන දෙයක්. නමුත් මම නම් Bad Publicity කරන්නේ නැහැ. Bad Publicity කරන අයගේ ඉලක්කය වන්නේ බහුතර ප්‍රේක්ෂකාගාරය. ඇත්තටම අපේ ලංකාව තුළ හොඳ දෙයකට වඩා නරක දෙයක් නැරඹීමට පෙලඹෙන පිරිස වැඩියිනේ. ඒ වගේම යම් අයෙක් තමන්ගේ දක්ෂතා සමාජ මාධ්‍ය තුළින් ඉදිරිපත් කරයි නම් එවැනි පිරිස වටා එක් රැස්වන ප්‍රේක්ෂක පිරිස අඩුයිනේ. ඒ අපේ රටේ හැටි.

රංගනය තම වෘත්තිය කර ගැනීමට ඔබ තුළ අදහසක් නැද්ද? 

මම දැනට මගේ ඩිග්‍රි එක ඉවර වෙලා Performing Art වලින් Master කරන්න සිතා සිටිනවා. එනිසා අනාගතයේදී වෘත්තීය මට්ටමින් රංගන ශිල්පියකු වනවාද නැතිනම් Lecturer කෙනෙක් වෙනවාද කියන එක ගැන මම තාම හරියටම සිතලා නැහැ.

නැවතත් සිනමාවට සම්බන්ධ වීමට අදහසක් නැද්ද? 

කොරෝනා එන්න පෙර චිත්‍රපට දෙකකට ආරාධනා ලැබිලා තිබුණත් කොරෝනා ගැටලුව නිසාවෙන් ඒවා සිදු කෙරුණේ නැහැ. කෙසේ නමුත් දැනට ටෙලි නාට්‍යය සඳහා වැඩි ඉඩකඩක් වෙන්කරමින් කටයුතු කරගෙන යනවා.

ළඟදී අලුත් ගීතයක් එළිදක්වන්නත් බලාපොරොත්තුවක් තිබෙනවාලු නේද? 

ඔව්. හෂිනි වෑදණ්ඩ එක්ක Rura කියන Song එකට Official Cover Song එකක් කළා. එහි Lyrics කළේ අනුෂ්ක ගුණසෝම. Music Re Arrangement කළේ ශෙනාල් මද්දුමගේ. ඒ වගේම ඇයත් සමඟම තවත් Original Song එකක් කරන්නත් බලාපොරොත්තු වෙනවා. දැනටත් එහි වැඩ ආරම්භ කරලා තිබෙන්නේ.

පැරණි ගීත නව්‍යකරණයට ලක් කොට නව නිර්මාණ බිහිකිරීම තරුණ පරපුර අතින් බහුලව සිදුවන දෙයක්. ඒ පිළිබඳ ඔබගේ අදහස කුමක්ද? 

මම හිතන්නේ පැරැණි, වටිනා නිර්මාණයක් යටපත් වීමට ඉඩ නොතබා එය නව ආරකට නව නිර්මාණයක් බිහිකිරීම තුළ වරදක් මා දකින්නේ නැහැ. එවැනි කර්තව්‍යයක් සිදු කිරීමේදී අදාළ ප්‍රවීණ මුල් අයිතිකරු සමඟ සාකච්ඡා කොට ඔවුනට ලැබිය යුතු ගරුත්වය සුරැකෙන ආකාරයට නීත්‍යනුකූල ආකාරයට ඔරිජිනල් ගීතයට හානියක් නොවන ආකාරයට නව නිර්මාණයක් ප්‍රේක්ෂකයන්ට ලබාදීම සිදුකළ හැකියි.

ඉදිරියට එන්න තිබෙන නිර්මාණ මොනවාද? 

අහස් මාලිගාවලින් පසුව නම්බර් 9 සඳහාත් ඉන්පසුව සංජීව අයියගේ “බිහයින්ඩ් ද ස්ටේජ්” (BTS) ටෙලි නාට්‍යයටත් සම්බන්ධ වුණා. ඉන්පසුව තමයි හිත ළඟ හිනැහුණා ටෙලිනාට්‍යය සඳහා මා සම්බන්ධ වුණේ. නම්බර් 9 සහ BTS ඉදිරියේදී විකාශය වේවි.

පුංචි තිරයේ පෙම්වතාගේ චරිතයට පණ පොවන ඔබ සැබෑ ජීවිතයේදී පෙම්වතෙක්ද? 

(සිනාසෙමින්) අනාගතයේදී ඒකට මම පිළිතුරක් දෙන්නම්.

දිනූෂා මනෝරි නිශ්ශංක – මව්බිම පුවත්පත. 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x