පුවත්

කළුකඩ ඇන්ටිජන් ජාවාරමක් වැල්ලම්පිටියෙන් අල්ලයි

ප්‍රධාන පෙළේ රෝහල් පරීක්ෂණාගාර සඳහා අධික මිල ගණන්වලට ලබාදීමේ අරමුණින් සඟවා තබා තිබූ කොවිඩ් රෝගය සඳහා වන ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටල (Rapid antigen test kit) තොගයක් අත්අඩංගුවට ගැනීමට ජාතික ඔෟෂධ නියාමන අධිකාරියේ ආහාර හා ඔෟෂධ පරීක්ෂකවරුන් සමත් වී ඇත.

අත්අඩංගුවට ගත් මෙම පරීක්ෂණ කට්ටල තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන එකහමාරක් පමණ වන බව එම අධිකාරිය පවසයි.

වර්ග (Brands) පහකට අයත් මෙම පරීක්ෂණ කට්ටල ජාවාරම්කරුවන් විසින් ඉන්දියාවෙන් හා චීනයෙන් ගෙන්වා තිබිණි. මෙම කිසිදු කට්ටලයක් ඔෟෂධ අධිකාරියේ ලියාපදිංචි නොකළ ඒවා බවද එම අධිකාරිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් ජාවාරම්කරුවන් දෙදෙනා ෆාමසිවලට සම්බන්ධ ඔෟෂධ සහායකයන් දෙදෙනකු බවත් හොර රහසේ මෙරටට ආනයන කළ මෙම කට්ටල මීට සති දෙකක පමණ කාලයක සිට මෙම ඔෟෂධ ශාලා සහායකයන් ලවා පෞද්ගලික රෝහල්වලට මෙන්ම පරීක්ෂණාගාර කිහිපයකට අධික මිල ගණන්වලට විකුණා ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

මෙම පරීක්ෂණ කට්ටල තොගය වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවාස දෙකක සඟවා තිබියදී ආහාර හා ඔෟෂධ පරීක්ෂකවරුන්ට ලැබුණු තොරතුරක් මත උපාය දූතයකු යොදවා අත්අඩංගුවට ගෙන තිබිණි. ඉන් එක් නිවෙසක රුපියල් ලක්ෂ 10ක පමණ වටිනා ඔෟෂධ විශාල තොගයක් ගබඩා කර තිබී සොයාගැනීමට ඔෟෂධ පරීක්ෂකවරුන් සමත් වී තිබේ.

බලපත්‍රයක් රහිතව ඔෟෂධ ගබඩා කිරීම යන වරද යටතේ මෙම ඔෟෂධ තොගය හා පරීක්ෂණ කට්ටල ආහාර හා ඔෟෂධ පරීක්ෂකවරුන් විසින් සිය භාරයට ගෙන ඇත.

අක්ෂි රෝග සඳහා වන ඔෟෂධ, දියවැඩියාව හා කොලෙස්ටරෝල් පාලනය සඳහා නිර්දේශිත ඔෟෂධ, අධිරුධිර පීඩනය, ඇදුම සඳහා වන ප්‍රතිජීවක ඔෟෂධ ඒ අතර ඇති බව කියයි.

ජාතික ඔෟෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය රසික විජේමාන්න හා ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය සජිත් සේමගේ යන මහත්වරුන්ගේ උපදෙස් මත ප්‍රධාන ආහාර හා ඔෟෂධ පරීක්ෂක අමිත් පෙරේරා ප්‍රමුඛ කොළඹ දිස්ත්‍රික් ආහාර හා ඔෟෂධ පරීක්ෂක අජිත් රෝහණ යන මහත්වරුන් විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

මහජන සාමය ආරක්ෂා කිරීමේ අංශයේ උප පොලිස් පරීක්ෂක එම්. ජයසූරිය හා කොස්තාපල් රාජපක්ෂ (98730) යන මහත්වරුද මෙම වැටලීමට සහාය ලබාදුන් අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් හා ඔෟෂධ කට්ටල තොගය ලබන මස 22 වැනිදා අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කීර්ති මෙන්ඩිස්

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x