තරු කතා

2025දී Gypsies විසිරිලා යාවි

පහසුවටත් වාසියටත් දැන දැන වැරදි කරන සමාජයක ගීතයෙන් රසික හදවත් ආමන්ත්‍රණය කළ ඔහු සුනිල් පෙරේරාය. Gypsies සංගීත කණ්ඩායමේ නායකත්වය ඔහුගේ අභාවයෙන් පසුව හිමිවූයේ පියල් පෙරේරාටය. මෙරට ගෘහස්ථ සංගීත කණ්ඩායම් කලාවේ ප්‍රමුඛයා ලෙස Gypsies හඳුන්වාදීම වැරදි නැත. ගීතය තුළින් වින්දනය පමණක් නොව, බොහෝ සමාජ ප්‍රශ්න සාකච්ඡාවට බඳුන් කළ Gypsiesහි අනාගතය සුවහසක් රසික සිත්හි නොබිඳෙනා බලාපොරොත්තුවකි. මේ පියල් පෙරේරා සමඟ අප බෙදා හදා ගත් අදහස්ය.

මොකද වෙන්නේ මේ දිනවලදී? 

මේ දිනවලදී බෑන්ඩ් එකේ වැඩකටයුතු කෙරීගෙන යනවා. Wedding සහ Company Party කිහිපයක්ම Play කළා. ඊට අමතරව සුනිල් අයියගේ අවසාන ගීතය වන “ගාලු පාර” ගීතයේ වැඩ නිමා වෙමින් තිබෙනව. සුනිල් අයියා නැති නිසා Music Video එක විධියට Animation වීඩියෝ එකක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

සුනිල් පෙරේරාගෙන් පසුව කණ්ඩායම් නායකත්වය භාර ගත්තේ ඔබද? 

ඔව්. නායකත්වය මම භාර ගත්තා. බේස් ගිටාර් වාදකයා හැරුණාම අනෙක් සියලු සාමාජිකයන් බොහෝ කලෙක පටන් අපත් සමඟ සිටි අයවලුන්. මගේ නායකත්වය යටතේ ඒ අයගේ සහයෝගය ඇතිව කණ්ඩායම ඉදිරියට කරගෙන යනවා.

සුනිල් පෙරේරා නොමැතිව පැවැත්වූ පළමු ප්‍රසංගය ඔබට කොහොමද දැනුණේ? 

ඇත්තටම සුනිල් අයියා තමයි Gypsies කණ්ඩායමේ ප්‍රතිරූපය වුණේ. ඔහුගේ අඩුව කිසිම දිනෙක, කිසිම පුද්ගලයකුට පුරවන්න බැහැ. ඔහු නොමැතිව සිදුකරන සෑම ප්‍රසංගයකදීම සුනිල් අයියා මාත් සමඟ සිටිනවා කියලා මට දැනෙනවා. මම තදින්ම විශ්වාස කරනවා ඔහුගේ ආශීර්වාදය සහ මඟපෙන්වීම අපට නිරන්තරයෙන් තිබෙනවා කියලා.

ඔහු දැරූ අදහස් Gypsies හරහා ඉදිරියට පවත්වා ගන්නවාද? 

මම ගොඩාක් ආදර ගීත ගායනා කළ කෙනෙක්. ඒ නිසා එකපාරටම ඔහුගේ දේශපාලන අදහස් නියෝජනය කරමින් ඔහුගේ ගමන් මාර්ගයට පිවිසෙන්න අමාරුයි. සුනිල් අයියගේ ගීත හරහා දේශපාලනය පමණක් නෙවෙයි සමාජ ප්‍රශ්න ගැනත් කතා කළා. ජාතීන් අතර සමඟිය තිබිය යුතුයි සහ එම සමඟිය බිඳ දාන්නේ දේශපාලන වුවමනාවට කියලා ඔහු හොඳින්ම දැනගෙන සිටියා I Don’t know Why, Signore, කුරුමිට්ටෝ, පහසුවටත් වාසියටත් වැනි ගීත හරහා ඒ අදහස් නොබියව ලෝකයට කිව්වා. මම අදටත් එම ගීත ගායනා කරනවා. අයියා වගේම මමත් කැමැතියි සමාජ ප්‍රශ්න ගැන කතා කරන්න. නමුත් මම දේශපාලන අදහස් හරියට කරනවාද නැද්ද කියලා තීරණය කරලා නැහැ.

ඔහුගේ ඒ ප්‍රතිපත්තිගරුක බව ඔබ දකින්නේ කොහොමද? 

සුනිල් අයියාට තරම් දැඩි පෞරුෂයක් අපි කිසිම කෙනකුට නැහැ. ඔහු කිසිම දිනෙක කලාව හෝ ඔහුගේ ආත්මය බලයට හෝ ධනයට පාවලා දුන්නේ නැහැ. කලාකරුවන් ලෙස සෑම විටම සිට ගත්තේ රට සහ රටේ දුක් විඳින ජනතාවගේ පැත්තේ. ඔහුගේ සෘජු ගුණය ගැන එක් උදාහරණයක් පවසන්නම්. එක්තරා මංගල උත්සවයක් අපි Play කළා. එම උත්සවයට රටේ දේශපාලන නියෝජිතයන් හතර දෙනකු පැමිණියා. එවිට සංවිධායකයන් සුනිල් අයියට ඇවිත් කිව්වා “අතිගරු” වචනය දාලා ඒ අයව පිළිගන්න කියලා. සුනිල් අයියා කිව්වා “අතිගරු” කොටස දාන්න බැහැ අවශ්‍ය නම් “මිස්ටර්” අසවලා කියලා කියන්නම් කියලා. එම අවස්ථාවේදී සංවිධායකවරුන්ට කරකියා ගන්න දෙයක් නැති වුණා. අවසානයේදී වෙනත් කෙනෙක් දම්මලා ඒ විධියට නිවේදනය කළා.

ගයාන් පෙරේරා කණ්ඩායමට එකතු වුණොත් එය වෘත්තීය වාසියක් වෙයි කියලා සිතන්නේ නැද්ද? 

ගයාන්ගේ තීරණය කොහොම වෙයිද කියලා මම දන්නේ නැහැ. ගයාන්ගේ සංගීත ශෛලිය වෙනස් එකක්. මම සිතන ආකාරයට ඔහුගේ ශෛලිය සහ Gypsies සංගීත ශෛලිය එකිනෙකට ගැළපෙන්නේ නැහැ. ඔහු සහ අප නියෝජනය කරන්නේ පරම්පරා දෙකක් නිසා අදහස් නොගැළපීමත් තිබෙනවා. නමුත් ඔහු තරුණ පරම්පරාවේ වෙනසක් ඇති කළ අතිදක්‍ෂයෙක්.

නව සංගීත කණ්ඩායම්වලට තමන්ටම කියලා ආවේණිකත්වයක් ගොඩනඟා ගැනීමට බැරිවෙලා තිබෙන්නේ ඇයි? 

කණ්ඩායමකට තමන්ගේම කියල අනන්‍යතාවක් ගොඩනඟා ගැනීමට ස්වනිර්මාණ තිබෙන්න ඕනෑ. Gypsies කණ්ඩායමේ ආවේණිකත්වය ගොඩනඟා ගත්තේ තමන්ගේම ගීත ගායනා කරලා. නමුත් එක් ගැටලුවක් තිබෙනවා. අද තමන්ගේම නිර්මාණයක් කළත් එය ජනප්‍රිය කරගන්න අමාරුයි. අපේ කාලයේ වගේ නොවෙයි අද මාධ්‍යයන් ගොඩක් තිබෙනවා. ඒ විවිධ වූ මාධ්‍යයන් උපයෝගී කරගනිමින් ගීත නිකුත් කළත් ඉන් එකක්වත් හරියට ජනප්‍රිය වෙන්නේ නැහැ. මේ ගැටලුව නිසා තමන්ට ආවේණිකත්වයක් ගොඩනඟා ගැනීම අපහසුයි.

මම පැවසුවහොත් ලංකාවේ බයිලා සංගීත කලාව අභාවයට යමින් තිබෙනවා කියලා? 

මම සිතන්නේ නැහැ. බයිලා ගීත තරම්වත් ශාස්ත්‍රීය ගීත ඉදිරියට නොඑන තත්ත්වයක් අද තිබෙන්නේ. කෙසේ වුවත් මම විශ්වාස කරන්නේ සංගීතය බයිලද ශාස්ත්‍රීයද රෙගේද හිපොප්ද කියලා වෙන් කිරීමක් නොකර රසවිඳිනවා නම් හොඳයි.

2020දී Gypsies ජුබිලි සැමරුම් වසර නේද? 

ඔව්. 2020ට Gypsies සංගීත කණ්ඩායමට වසර 50ක්. එයට සමගාමීව අපි ප්‍රසංග කිහිපයක් සංවිධානය කරලා තිබුණා. නමුත් කොවිඩ් වසංගතය නිසා ඒ සියල්ල නතර කරන්න සිද්ධ වුණා. පසුව අපි තීරණය කළා 2021දී කරන්න. ඒත් නොහැකි වුණා. සුනිල් අයියගෙත් ලොකු ආසාවක් තිබුණා මේ ප්‍රසංගය කරන්න. අවාසනාවකට ඔහු කලින් යන්න ගියා. අපි සැලසුම් කළා මාර්තු 04/05/06 BMICHහිදී  ජුබිලිය සමරන්න. රටේ පවතින වාතාවරණය නිසා BMICH මුළු ධාරිතාවෙන් 60%ක් තමයි ගන්න පුළුවන්. ඒ නිසා එයත් කල් දාන්න සිද්ධ වුණා.

අලුත් නායකත්වය යටතේ තීරණ ගැනීමේදී ගැටලු අතිවෙන්නේ නැද්ද? 

කිසිම ප්‍රශ්නයක් නැහැ. සියලු දෙනාම සහයෝගයෙන් වැඩකටයුතු කරගෙන යනවා. කණ්ඩායමේ සියලු සාමාජිකයන් බොහෝ කලෙක පටන් එකට සිටින නිසා අපි අතරේ හොඳ තේරුම් ගැනීමක් තිබෙනවා.

කණ්ඩායමක මිල තීරණයට බලපාන සාධක මොනවාද? 

මිල තීරණය වන්නේ කණ්ඩායම කෙතරම් ජනප්‍රියද කියන කාරණාව මත. ක්ෂේත්‍රය තුළ ඔවුන්ට කෙතරම් ඉල්ලුමක් තිබේද? ඒ අනුව මිල තීරණය කරන්න පුළුවන්.

බෑන්ඩ් එකේ ඉදිරි සැලසුම් මොනවාද? 

ඉදිරියේදී ගීත දහයක් පමණ නිකුත් කරන්න සැලසුම් කරලා තිබෙනවා. ඒ වගේම තවත් අවුරුදු තුනකින් මම සංගීත ජීවිතයෙන් විශ්‍රාම යනවා. ඇතැම්විට මම තනි පුද්ගල ගායකයෙක් විධියට ඉදිරියට එයි. අනෙකුත් සාමාජිකයන්ට දන්වලා තිබෙනවා ඔවුන්ගේ ස්ථාවරය දැන්ම ගොඩනඟා ගන්න කියලා. බොහෝ වෙලාවට 2025දී Gypsies කණ්ඩායම විසිරිලා යයි.

පියල් පෙරේරාගේ අනාගත බලාපොරොත්තු මොනවාද? 

මම සංගීතයෙන් විශ්‍රාම ගිය පසු ගීත නිර්මාණය කිරීමට සිතා සිටිනවා. ඊට අමතරව පවුලේ අයත් සමඟ කාලය ගතකළ යුතුයි. නමුත් මම කැමැති නැහැ විශ්‍රාම ගියා කියලා පසෙකට වී පොත් කියවන්න. Stress කියන දේ මිනිසෙක් මියයන තුරුම තිබිය යුතුයි. එසේ නොමැති නම් කායිකව සහ මානසිකව ඇදවැටෙනවා. මගේ ආශාව ගීත නිර්මාණය කරන්න. ඉතින් මම එය දිගටම කරගෙන යනවා.

දුමිඳු ලංකා බණ්ඩාර – මව්බිම පුවත්පත.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x