තරු කතා

මොකක් හරි දෙයක් කරලා ප්‍රසිද්ධ වෙන්න පුළුවන් නමුත් ජනප්‍රිය වෙන්න බැහැ

එදා පුංචි තිරය වර්ණවත් කළ සුන්දර අහිංසකාවිය, ඇය බොහෝ ප්‍රේක්ෂක හදවත් තුළ ආදරණීය චරිතයක් ලෙස සලකුණු තබන්නට සමත් වූවාය. තවමත් එදා තරම්ම ආදරණීය සුන්දර සිතැත්තියක් වන ඇය නමින් මංජුලා කුමාරි වුවද බොහෝ දෙනා ඇය හඳුනන්නේ ඕලු නමිනි. ඇයගේ අලුත් තොරතුරු අප සමඟ බෙදා ගන්නට ඇය හදගැස්ම කතා බහත් සමඟ සමීප වූවා.

කොහොමද මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නේ? 

දරුවන් දෙදෙනාගේ වැඩකටයුතුත් කරගෙන ප්‍රවේසමින්, හොඳින් ජීවත් වෙනවා.

සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර කොහොමද? 

සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයේ මම දිගටම රූගත කිරීම් සිදු කරන්නේ නැහැ. ඒ බව මුලින්ම මට ඔවුන් පැවසුවා. එම නිසයි මම එයට සම්බන්ධ වුණේ. එහි මගේ චරිතය බොහොම ආදරණීය චරිතයක්. ඒ සඳහා ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

නිර්මාණ තුළින් ඔබව දකින්න ලැබෙන්නේ අඩුවෙන්. ඇයි ඒ? 

මගේ පුතා ලැබුණේ 2015දී. ඉන්පසුව මම බොහොම අතළොස්සක් පමණ වූ නිර්මාණ සඳහා පමණයි සම්බන්ධ වුණේ. මවක් තමන්ගේ දරුවන්ගේ කුඩා කාලයේ ඔවුන්ගේ සුරතල් බලමින් ඔවුන් සමඟ සිටිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. එම නිසා මම නිර්මාණ සඳහා සම්බන්ධ වුණේ අඩුවෙන්. නිර්මාණවල ප්‍රධාන චරිත සඳහා ආරාධනා ලැබුණා. නමුත් මම ඒවා භාරගත්තේ නැහැ. මොකද රූගත කිරීම් සඳහා සම්බන්ධ වුණොත් මට දවස් විස්සක් විසිපහක් පමණ රූගත කිරීම්වලට සම්බන්ධ වීමට සිදු වෙනවා. එවිට මට දරුවන් සමඟ රැඳෙන්න තිබෙන කාලය අවම වෙනවා. එම නිසා මම එම ආරාධනා භාරගත්තේ නැහැ.

ඕලු ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය කිවහොත් නිවැරදිද? 

ඔව්. මගේ වාසනාවත් සමඟ මට ඕලුගේ චරිතය ලැබුණා. ‘ඕලු’ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වුණා. ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනෙක් වගේම ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙක් මාව හඳුනා ගන්නේ ඕලු කියන චරිතයත් සමඟයි. මට බොහෝ දෙනෙක්ගේ හදවතේ රැ‍ෙ¾දන මතකයක් වෙන්න ලැබුණේ ඕලු චරිතය නිසා. එම නිසාම මම ඕලු කියන චරිතයට ආදරෙයි. මම නිර්මාණ බොහෝ ප්‍රමාණයකට සම්බන්ධ නොවුණත් ඕලු හරහා බොහෝ දෙනෙක් තුළ අමතක නොවන මතකයක් වෙන්න ලැබුණා. ඒ පිළිබඳව මට සතුටුයි.

ඔබ වැඩිපුරම කළේ අහිංසක ගැමි චරිත. ඇයි වෙනස් චරිතවලට යොමු නොවුණේ? 

මගේ පෙනුමත් සමඟ ග්‍රාමීය අහිංසක චරිත මට වැඩිපුර ලැබුණා. ඒ ගැන ඇත්තටම මටත් සතුටුයි. මම ඒ චරිතවලට ප්‍රිය කරනවා. මොකද චරිතාංග නිළියක් විධියට කටයුතු කරනවාට වඩා පවුල් ජීවිතය සඳහා වැඩි කාලයක් වැය කරන්න මට අවශ්‍ය වුණා.

ආපසු හැරී බලන විට ඒ ගැන දුකක් සිතෙන්නේ නැද්ද? 

නැහැ. මම බොහෝම තෝරා බේරාගෙන නිර්මාණ සඳහා සහභාගි වූ කෙනෙක්. එම නිසාම සමහර හොඳ අවස්ථා සහ නිර්මාණ මගෙන් ගිලිහුණා. නමුත් මගේ සිතට එකඟව මම තෝරා ගත් නිර්මාණ පිළිබඳව මට සතුටුයි. ඒ වගේම මම අද සිටින තැන ගැනත් මම ප්‍රේක්ෂකයන්ගෙන් ලබාගෙන තිබෙන ආදරය ගැනත් මම සතුටු වෙනවා.

අපි ක්‍ෂේත්‍රයට පැමිණි කාලයත් සමඟ ගත් විට යම් යම් වෙනස්කම් කිහිපයක්ම දැන් ක්‍ෂේත්‍රය තුළ තිබෙනවා. ගුණාත්මක නිර්මාණ කෙරෙනවා සාපේක්ෂව අඩුයි. මාධ්‍ය නාළිකාවලින් නිර්මාණ සඳහා ගෙවන මුදල ආදියත් ඒ සඳහා බලපානවා. මමත් නිෂ්පාදිකාවක් විධියට ඒ දේවල්වලට මුහුණපාලා තිබෙනවා. එයට එක් පාර්ශ්වයකට පමණක් ‍ෙදාස් කියන්න බැහැ. රටේ පවතින ආර්ථික තත්ත්වයත් මේ සඳහා බලපානවා.

ප්‍රේක්ෂකයන්ගෙ ආදරය හිමිවෙන, මතකයේ රැඳෙන නිර්මාණ දැන් බිහි නොවන්නේ ඇයි? 

නාළිකා, නිර්මාණකරුවෝ, රංගන ශිල්පී සහ ශිල්පිනියන් ආදී සියලු දෙනාම මේ ප්‍රශ්නයට වගකිව යුතුයි. ලැබෙන මුදල සමඟ නිර්මාණවල ගුණාත්මක බව වැඩි කරන්න බැහැ. නිර්මාණ සඳහා එදා තරම් කාලයක් වැය කරන්න අද නොහැකි වෙලා තිබෙනවා. ඒ සියල්ල පැත්තකින් තබා අවම වශයෙන් කතා තේමාවන් වෙනස් ලෙස ගොඩනඟනවා නම් යම් මට්ටමක් හදාගත හැකියි. අද සමහර නිර්මාණවල ප්‍රධාන නළුවා අඳ ගොළු බිහිරි අයෙක් වගේ සිටිනවා. වටේම සිටින අය ආදරය ප්‍රකාශ කරනවා. කතා තේමාව තුළින් ප්‍රේක්ෂකයන්ට යම් ආදර්ශයක් සැපයිය යුතුයි කියලා මම සිතනවා. මේ අතර බොහොම අතළොස්සක් හොඳ නිර්මාණත් බිහි වෙනවා.

නිෂ්පාදිකාවක් විධියට ඉදිරියේදී නැවතත් කටයුතු කරන්න සූදානමක් තිබෙනවාද? 

නැහැ. දරුවන්ගේ කටයුතු වෙනුවෙන්ම ඉදිරි කාලය වැය කරන්න තමයි මගේ බලාපොරොත්තුව.

කාන්තාවක් විධියට මේ ක්‍ෂේත්‍රය තුළ වෘත්තීය මට්ටමක් පවත්වාගෙන යන්න අපහසුයිද? 

එහෙම නැහැ. වෘත්තීය මට්ටමක් පවත්වාගෙන යන්න පුළුවන්. මම පෞද්ගලිකව කැමැතියි මවක් විධියට විය යුතු යුතුකම් සහ වගකීම් කැපවීමෙන් යුතුව ඉටු කරමින් දරුවන් සමඟම රැඳෙන්න. ආර්ථිකය ගොඩනඟාගන්න මව රැකියාවල නිරත වීම තුළ බොහෝ පවුල් ජීවිත ඇතුළෙ විවිධ හැලහැප්පීම් සිදුවෙනවා අපි දකිනවා. මවක් දරුවන් වෙනුවෙන් වැඩිපුර කාලය යොදවනවා නම් වඩාත් හොඳයි කියලා මම විශ්වාස කරනවා.

අද තිබෙන තරගකාරී සමාජය තුළ එලෙස කාලය යොදවන්න බොහෝ විට අපහසුයි. නමුත් මම හැකි තරම් උත්සාහ කරනවා දරුවන් වෙනුවෙන් මගේ කාලය උපරිමයෙන් යොදවන්න. එය මගේ පෞද්ගලික කැමැත්ත මත පදනම්ව සිදුවෙන දෙයක් පමණයි. ක්‍ෂේත්‍රය තුළ වෘත්තීය මට්ටමක් පවත්වාගෙන යන්න පුළුවන්.

අලුත් පරපුර ගැන මොකද සිතන්නේ? 

මොකක් හරි දෙයක් කරලා ප්‍රසිද්ධ වෙන්න පුළුවන් වුණාට ජනප්‍රිය වෙන්න බැහැ. බොහෝ දෙනෙක් ප්‍රසිද්ධියයි ජනප්‍රියත්වයයි පටලාගෙන තිබෙනවා අපි දකිනවා. ඒ වගේම ලැබෙන ජනප්‍රියත්වය රැකගන්න බොහෝ දෙනෙක්ට තේරුමක් නැහැ. ඒ වගේම ප්‍රසිද්ධියෙන් හිස උදුම්මවාගෙන කටයුතු කරනවා අපි දකිනවා. පලබර වෙන්න වෙන්න නිහතමානී විය යුතුයි.

ඔබ විදේශගත වීමට සූදානම්ව සිටිනවා යැයි සමාජ මාධ්‍ය හරහා කට කතාවක් පැතිරුණා. එය ඇත්තක්ද? 

මම නැඟණිය සමඟ අධ්‍යාපනය ලබන්න විදේශගත වෙනවා කියලා සමාජ මාධ්‍යවල ගොසිප් දාලා තිබුණා. නමුත් මට නැඟණියක් නැහැ. ඇත්තටම මම එහෙම රට යන්න සූදානමක් නැහැ.

ඕලු මනාලි නමින් ආරම්භ කළ ව්‍යාපාරය ගැනත් කියමු? 

ඔව්. ඕලු මනාලි නමින් මම ව්‍යාපාරයක් ආරම්භ කළා. ව්‍යාපාරයේ කටයුතුත් සේවක පිරිස සමඟ හොඳින් කරගෙන යනවා.

ඉදිරි වැඩකටයුතු මොනවාද? 

දරුවෝ දෙන්නාගේ වැඩකටයුතු සඳහාම ජීවිතේ ඉදිරි කාලයත් කැපවේවි. ඒ අතර ඉඩ ලැබෙන මොහොතක නිර්මාණවලට සම්බන්ධ වෙයි. පූර්ණ කාලීනව රංගනයට සම්බන්ධ වෙන්න අදහසක් නැහැ.

දරුවන්ගේ විස්තරත් කියමු? 

පුතාගෙ නම ඕලිත සන්දුල්. පුතාගෙ වයස අවුරුදු හයයි මාස හයයි. දුව දිනුලි සෙහන්සා. දුවට අවුරුදු තුනයි මාස හයයි. දෙදෙනාම දැන් පාසල් යනවා.

කුශාන්ති අනුරාධා බණ්ඩාර – මව්බිම පුවත්පත. 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x