විශේෂාංග

මාධ්‍ය පිළිබඳව තිබුණු ජනතා විශ්වාසය පලුදු වෙලා

පාසල් වියේදීම ‘කදුරට ‘ ගුවන්විදුලිය හරහා මාධ්‍යයට පිවිසෙන ඔහු පසුකාලීනව ජාතික රූපවාහිනි නාළිකාවේ විකාශය වූ ‘ශනිදා ආයුබෝවන්’ වැඩසටහන හරහා රූපවාහිනි නිවේදකයකු ලෙස තම මාධ්‍ය ජීවිතය ආරම්භ කළා. වැඩි වශයෙන් ප්‍රවෘත්ති ප්‍රකාශයන් ඔස්සේ ප්‍රේක්ෂකයා ආමන්ත්‍රණය කරන ඔහු ප්‍රසංග වේදිකාව තුළද ක්‍රියාකාරී සාමාජිකයෙක්. කොයි කවුරුත් හොඳින්ම හදුනන ඔහු දිනූෂ පියදාස.

මේ දවස්වල කොහොමද ජීවිතේ ගෙවෙන්නේ? 

රටේ පැවැති වාතාවරණය නිසා නවත්තන්නට සිදුවුණු බොහෝ වැඩකටයුතු නැවතත් ආරම්භ වෙලා තියෙනවා. ප්‍රසංග වේදිකාවේ වැඩකටයුතු සහ රූපවාහිනි වැඩසටහන් එක්ක මේ දිනවල ටිකක් කාර්යබහුලයි.

මේ වනවිට ප්‍රසංග වේදිකාවේ ක්‍රියාකාරිත්වය සහ ඒ සඳහා ඔබගේ දායකත්වය පිළිබඳ කතා කළොත්? 

කොවිඩ් නිසා ප්‍රසංග වේදිකාව මුළුමනින්ම වැසිලා තිබුණේ. නමුත් මේ වෙනකොට ඒ වැඩකටයුතු නැවත ආරම්භ වෙලා තියෙනවා. ඒක ලොකු සතුටක්. මේ වෙනකොට ගෘහස්ථ සහ එළිමහන් ප්‍රසංගවලට ආරාධනා ලැබෙනවා. විදේශ ප්‍රසංග කිහිපයකටත් ආරාධනා ලැබිලා තියෙනවා.

වෘත්තීයමය රූපවාහිනි නිවේදකයකුට සාපේක්ෂව ප්‍රසංග වේදිකා නිවේදකයකුට සමාජීය වශයෙන් හොඳ පිළිගැනීමක් ලැබෙනවද? 

ප්‍රසංග වේදිකා නිවේදකයෙක් එම ක්ෂේත්‍රය තුළ ඉදිරියට ආවොත් තිබෙන පිළිගැනීම බොහොම ඉහළයි. නමුත් ප්‍රසංග වේදිකා නිවේදකයකු ලෙස ස්ථාවරත්වයක් ගොඩනඟාගන්න, නමක් හදාගන්න ලොකු කාලයක් ගත වෙනවා. කලා ශිල්පීන් හදුනාගෙන ඔවුන්ව ප්‍රසංගවලට සම්බන්ධ කරගෙන ස්ටේජ් එක නිර්මාණය කිරීමේ සිට සියලු වැඩකටයුතු පරිපූර්ණව සංවිධානය කළ හැකි නිවේදකයෝ ඉන්නවා. ඒ තත්ත්වය ඔවුන් කාලාන්තරයක් තිස්සේ ගොඩනඟාගත් දෙයක්. වෘත්තීයමය රූපවාහිනි නිවේදකයකුගේ තත්ත්වය ඊට වඩා වෙනස්. ඔවුන්ට හැකියාව තියෙනවා කෙටි කාලයක් තුළ ප්‍රේක්ෂකයන් අතරට යන්න. ඔවුන්ට ලැබෙන ජනතා පිළිගැනීමත් ඉතා ඉහළයි. නමුත් මේ තනතුරු අතර තියෙන්නේ ඒ වෙනුවෙන් කැප කළ යුතු කාලයේ වෙනසක් පමණයි.

නාළිකාවලින් ඇතැම් ප්‍රවෘත්ති යටගහනවා, නිෂ්ඵල දේවල් ප්‍රවෘත්තියක් ලෙස ඉදිරිපත් කරනවා කියලා මෑතකදි ලොකු කතාබහක් ඇති වුණා. මේ පිළිබඳව ඔබේ අදහස? 

වර්තමානය වනවිට මිනිස්සු එක කොටසක් බලන්න කැමැති ගොසිප්ස්. ප්‍රවෘත්ති ප්‍රකාශයන් එළියට එන්නේ අදාළ නාළිකාවේ ප්‍රධානියාගේ වුවමනාව මත මිසක් ප්‍රේක්ෂක අවශ්‍යතාව අනුව නෙවෙයි. එහෙම වුණාම තමයි එක නාළිකාවක මුල්ම ප්‍රවෘත්තිය පිළිබඳව ඇතැම් නාළිකාවල පොඩි සඳහන් කිරීමක්වත් නොකරන්නේ. මේ සිද්ධිය තමයි ප්‍රවෘත්ති යට ගහනවා කියන එකේ සැබෑම අර්ථය.

ප්‍රවෘත්ති ප්‍රකාශයන් ගැන කතා කළොත් නිවේදකයාගේ දායකත්වය සහ ඉහත චෝදනාවට ප්‍රබලවම වගකිව යුත්තන් සහ දේශපාලනික මැදිහත්වීම්/ පෙලඹවීම් ගැන කතා කළොත්? 

ප්‍රවෘත්ති ඉදිරිපත් කරන නිවේදකයා දෙන කොළේ බලාගෙන කියවන කෙනෙක් නම් වැඩක් නැහැ. මුලින්ම පිටපත කියවලා අඩුපාඩු තිබේ නම් සංස්කාරක එක්ක කතාකරලා අඩුපාඩු නිවැරැදි කරගත යුතුයි. මොකද කවුරු කොහොම පිටපත ගැහුවත් මිනිස්සු අහන්නේ නිවේදකයා කියන දේ. ප්‍රේක්ෂකයාට වැදගත් වෙන්නේ නිවේදකයා. ඒක බරපතළ වගකීමක් විධියට තමයි මම දකින්නේ. ඉහත චෝදනාව විධියට අදහස් වෙන්නේ ප්‍රවෘත්ති යට ගහනවා කියන එක නම්, කලින් කිව්වා වගේ නාළිකාවේ ප්‍රධානියා අනුව ප්‍රවෘත්ති ප්‍රකාශය වෙනස් වෙනවා. දේශපාලන බලපෑම නම් අඩු වැඩි වශයෙන් කාටත් බලපානවා. නමුත් අද වනතුරු මට එහෙම බලපෑමක් ඇවිත් නැහැ. විශේෂයෙන් පත්තර වැඩසටහන ඉදිරිපත් කිරීමේදී පවතින ආණ්ඩුවට පක්ෂව තියෙන ලිපි වගේම විපක්ෂව තියෙන ලිපිත් අපි ඉදිරිපත් කරනවා.

මේ හේතූන් නිසා මාධ්‍ය පිළිබඳව තිබූ ජනතා විශ්වාසය පලුදු වෙලා නේද? 

ඔව්. මාධ්‍ය පිළිබඳව තිබුණු ජනතා විශ්වාසය පලුදු වීම නිසා තමයි සමාජ මාධ්‍ය දැඩි ලෙස ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ.

මාධ්‍යවේදියකු සතුවිය යුතු නිදහස ආයතනික නීතිවලට යටත් වීම පිළිබඳව ඔබේ අදහස? 

ආයතනවලට හිර වුණාම ඒ නිදහස ඉබේම නැති වෙනවා. අපි කරන්නෙ සමාජ කාර්යභාරයක් කියන එක ඇත්ත. නමුත් අනිත් පැත්තෙන් ගත්තොත් මේක රස්සාවක්. පූරක කාර්ය කියන්නේ බොහෝ දෙනෙක්ගේ වෘත්තිය. තමන්ගේ දරු පවුල රැකගන්න, තමන්ගේ ජීවිතය ගොඩ දාගන්න, තමන්ට අවශ්‍ය මුදල් හොයා ගන්න උදවු වෙන්නෙ මේ රස්සාව. රස්සාව කියන දේ මාධ්‍ය ආයතන නීතිවලට අනුව කරන්න සිදු වෙනවා. මගෙ අදහසට අනුව නම් නිදහසේ කරගන්න තිබුණා නම් හොඳයි.

ප්‍රවෘත්ති නිවේදකයෙක් විසින් ලැබිය යුතු පුහුණුව, වාග් කෝෂය, ස්ථානෝචිත ප්‍රඥාව සහ කටහඬ පුහුණුව සහ පාලනය පිළිබඳ කතා කළොත්? 

ප්‍රවෘත්ති නිවේදකයෙක් විතරක්ම නෙවෙයි, හැම නිවේදකයෙක්ටම අනිවාර්යයෙන් හොඳ පුහුණුවක් තියෙන්නෙ ඕනි. හොඳ වාග් මාලාවක්, ශබ්ද කෝෂයක් තියෙන්න ඕනි. තමන් කතා කරන විෂය පිළිබඳව දැනුමක් තිබීම අත්‍යවශ්‍යයි. නිවේදක කියන වෘත්තිය හරියට යුද හමුදාව වගේ. මම එහෙම කියන්න හේතුව තමයි යුද හමුදාවේ තියෙනවා පෙදරේරු වෘත්තිය, වෛද්‍ය වෘත්තිය, රියැදුරු වෘත්තිය, සූපවේදී වෘත්තිය වගේ ඔවුන්ගේ ක්‍රියාවලියට අවශ්‍ය කරන එකී නොකී හැම කෙනෙක්ම ඉන්නවා. ඒ වගේම තමයි නිවේදකයා කියන කෙනත් හැම ක්ෂේත්‍රයක් සම්බන්ධවම දැනුම තිබිය යුතුමයි.

අපිට විවිධ පුද්ගලයන් සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වන්න සිදු වෙනවා. එවැනි අවස්ථාවකදී තැනට උචිත ආකාරයෙන් කතා කිරීම අතිශය වැදගත්. කටහඬ පුහුණුව සහ පාලනය අත්‍යවශ්‍යයි. එළිමහන් ප්‍රසංගයක් කරන විධිය සහ ගෘහස්ථ ප්‍රසංගයක් කරන විධිය සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස්. ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදී එයට වෙනම රිද්මයක් තියෙනවා. ඡන්ද ප්‍රතිඵල ඉදිරිපත් කරන්නේ තව රිද්මයකට. ඒ නිසා මේ සියලු දේ ප්‍රවෘත්ති නිවේදකයෙක් වගේම සෑම නිවේදකයෙක්ම ප්‍රගුණ කළ යුතු අවශ්‍යතා විධියට තමයි මම දකින්නේ.

පෞද්ගලික ජීවිතය පිළිබඳව කතා කළොත්? 

මම විවාහකයි. මගේ බිරිය ගීෂානී. මගේ පුංචි දියණිය ස්වස්ථි ඔලානා. ඇයට තවම මාස හතයි. මේ තමයි මගේ පුංචි පවුල. ඒ වගේම අම්මා, අයියා, අක්කා සහ නංගි තමයි මගේ පවුලේ ඉන්නෙ. පොලිස් පරීක්ෂකවරයෙක් විධියට වැඩ කරපු මගේ තාත්තා 1998දී අපව හැරගියා. එදා ඉඳලාම අම්මා තමයි පිටිපස්සෙන් ඉඳලා අපිට හයියක් වුණේ. ඒ වගේම බිරියගෙ අම්මා, අප්පච්චි, නංගි, මල්ලි ඒ හැමෝමත් මගේ වැඩකටයුතුවලට උදවු කරනවා.

නිකේෂලා රණතුංග

Pix by Chiran Bhuddima | මව්බිම පුවත්පත.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x