විශේෂාංග

ජීවිත කාලය පුරාවටම සකපෝරුවෙ කැරකෙන ඩිංගිරි අම්මා සහ උක්කු අම්මා

මානවයාගේ ආරම්භය සිදු උනාට පසු මානව ශිෂ්ටාචාරයේ ප්‍රථම කර්මාන්තය ලෙස හඳුනාගන්නේ මැටි වළං කර්මාන්තයයි. වලං කර්මාන්තය ,කුඹල් කර්මාන්තය ,කුම්භකාර කර්මාන්තය,බඩහැල කර්මාන්තය ආදී අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වන්නේ මේ මැටි කර්මාන්තය යි.

බුදු දර්ශනයට අනුව එක්තරා භවයක අප ගෞතම බුදුරජාණන් වහන්සේ උප්පත්තිය ලබා කුඹල් කර්මාන්තයේ නිරත වූ බව පූජාවලිය සඳහන් වෙනවා. ඒ තරම් අතීතයකට දිව යන මේ විශිෂ්ට කර්මාන්තය වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාමත් පැවතෙනවා.

මැටි කර්මාන්තය ආශ්‍රිතව විවිධ ආකාරයේ ගැටලුකාරී තත්වයන් වලට එහි නිරත පුද්ගලයන් මුහුණ දුන්නත් අදටත් සකපෝරුව තමන්ගේ ජීවිතය කරගනිමින් මැටි කර්මාන්තයේ නිරත වෙලා වැඩ කටයුතු කරන පුද්ගලයන් දෙදෙනකු පිළිබඳව තමයි අපි අද ඔබට කියන්නට යන්නේ. මේ සකපෝරුවත් සමග හරි හරියට වළං හදන ඔවුන් අනුව වියෙහි පසු වෙන ඩිංගිරි අම්මා සහ 85 ක් වයස වන උක්කු අම්මා නම් වේ.

ඩිංගිරි අම්මා මේ වෙද්දි දරුවන් දොළොස් දෙනෙකුගේ ආදරණීය මවක්. ඒ වගේම උක්කු අම්මා දරුවන් අට දෙනෙකුගේ මවක්. මවුපිය උරුමයෙන් ලැබුන මේ කර්මාන්තය තාමත් සාර්ථකව කරගෙන යන මේ අක්කා නංගෝ අතරින් ඩිංගිරි අම්මා පවුලේ දෙවැනියා වූ අතර උක්කු අම්මා පවුලෙ හතර වෙනියා.

ඉතාමත් දුෂ්කර කාලයක් ගත කරපු නිසා පුංචි කාලේ ඉඳන්ම තමන්ට පසුව ඉපදුනු සහෝදර සහෝදරියන්ට ආදරණීය මවක් වෙන්න මේ අක්කා නගෝ අමතක කරන්නේ නැහැ. ඒ නිසාම ඔවුන්ගේ පාසල් අධ්‍යාපනය හැර දමා සහෝදර-සහෝදරියන් රැකබලා ගැනීමට තීරණය කරනවා .

ඔවුන්ගේ මුළු පවුලම නඩත්තු වුනේ කුඹල් කර්මාන්තය නිසා. කුඹල් කර්මාන්තය සිද්ධ කරේ ආදරණීය පියාණන් විසින්. ඉතින් තනියම වතුර ඇදලා මැටි අනලා දර කපලා ඒ වගේම වළං පිළිස්සීම ආදී දේවල් සිදු කරන පියා දිහා බලාගෙන හිටපු මේ ආදරණීය දියණියන් දෙදෙනා තීරණය කරනවා ඔහුට සවියක් වෙන්නට.

පියාගේ අනුදැනුම මත සකපෝරුව ට තමන්ගේ දෑත් හුරු කරගන්නා මේ අක්කා නගෝ සතියකට වතාවක් වළං කරත්තයක් පිරවීමට තරම් හැකි වලං හදන්නට උත්සාහ ගත්තා. වළං කරත්තයක් පුරවන තරමට වළං හැදුවොත් විතරයි ඔවුන්ට සතියකට අවශ්‍ය කරන මුදල් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ. වළං කරත්තයක් සඳහා රුපියල් 60 ක මුදලක් ඔවුන්ට ලැබෙනවා. දරු මුණුපුරන් විශාල සංඛ්‍යාවක් මේ පවුලේ හිටපු නිසා ඊට සරිලන ආකාරයේ බත් මුට්ටියක් ලිප තියන්න ඔවුන්ට සිද්ධ වෙනවා. ඔක්කොටම කන්ඩ හාල් සේරු පහක් ඕනි කරන නිසා ඒ හා සමානම ඊට සරිලන වෑංජන දෙකක් සෑම දිනකම උයන්නට සිදු වුණා කියලා ඩිංගිරි අම්මා සඳහන් කළා.

කුස්සියේ වැඩත් සකපෝරුවෙ වැඩත් බෙදාගෙන කරලා තියෙන්නෙ මේ අක්කා නගෝ. මේ වෙද්දී දරු මුණුබුරන් පනස් තුන් දෙනකු මේ ලොවට දායාද කරමින් සැදෑ සමය ගත කරන තවමත් වළං හදන ඩිංගිරි අම්මා මේ ආකාරයෙන් අදහස් දැක්වූවා.

මම අපේ පවුලේ සහෝදර සහෝදරියන් දා හත් දෙනෙකුගෙන් දෙවනියා විදිහටයි ඉපදිලා තියෙන්නෙ. අපේ පවුලෙ වැඩිමලා රවීයෙල් අයියා. එයා මිය ගිහින් ඊට පස්සෙ පවුලෙ වැඩිමලා මම. ඊට පස්සේ උක්කු අම්මා සහ නංගි ඉපදිලා තියෙන්නේ 4 වෙනියා විදියට. නංගි මමයි හැමදේම කලේ. අම්මගේ ආවතේව කටයුතු ළමයි නෑවීම රෙදි සේදීම ඒ දේවල් කළෙත් අපි දෙන්නා.

ඉතින් ඇය අදහස් දක්වන්නෙ ඒ ආකාරයෙන්. අසුපස් වියෙහි පසුවන උක්කු අම්මා සඳහන් කරන්නේ මේ වන විට ඇගේ සැමියා ජීවතුන් අතර නැහැ කියලත් අද වන විට ඇය දරු මුණුපුරන් තිස් එක් දෙනෙකුගේ මිත්තණියක් වෙනවා කියලයි. ඉතින් උක්කු අම්මා තවමත් ඔවුන්ගේ එකසිය දොළොස්වන වන වියේ පසුවන ආදරණීය මව රැක ගනිමින් වළං කර්මාන්තයේ නිරත වීම ඇත්ත වශයෙන්ම පුදුම ට කරුණක්.

මේ අක්කා නගෝ දෙන්නා එකතු වෙලා අදටත් ලොකු වලං,හට්ටි මුට්ටි ,මැටි කෝප්ප සහ කලගෙඩි ආදී සියලුම දේ හදනවා. මේ වෙද්දි මැටි ගුලියක් රුපියල් පහණ විතර වෙන අතර සාමාන්‍යයෙන් එකෙන් වළං පහක් විතර හදන්න ඔවුන්ට පුළුවන්ලු. වළං හදන්න ලොකුවට දර ගන්න සල්ලි නැති නිසා මේ කර්මාන්තයේ නිරත වෙලා ඉන්න ගොඩක් අපහසු අවස්ථා උදා වෙනවා කියලත් ඔවුන් සඳහන් කළා.

කෙසේ නමුත් එදා වේල හොයාගෙන කන්න අනුන්ට අත නොපා වයස ඉලක්කම බවට පමණක් පත් කරගත් මේ ධෛර්ය සම්පන්න මෑණියන් දෙදෙනාගේ ජීවිතයට නිදුක් නිරෝගී චිර ජීවනය උදා වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

-ලංකාදීප පුවත්පත 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x