තරු කතා

එයාට තරගෙ තිබුණේ මාත් එක්ක නෙවෙයිලු

තරු ගොන්නකින් සුපිරි තරුවක් වුණු ෆැලන් ඇන්ඩ්‍රියා කාලයකදී සමාජ මාධ්‍ය තුළ කතා බහට ලක්වුණු වගේම කටකතාවලට අඩුවක් නැතිව මුහුණදුන් තාරකාවක්. ගීත ලොවේ ප්‍රවීණයන්ගෙන් ලැබුණු ආදරණීය, ආශීර්වාද වරුෂා මැද්දේ ඇයගේම හැඩයකට ගොඩනැඟී වෙනස්ම ගමනක් යන බවට ඉඟි මේ වනවිටත් පළවී හමාරයි. හදගැස්ම ඇය වෙනුවෙන් වෙන්කළෙත් ඒ නිසාමයි.

ෆැලන් මේ දවස්වල කරන වැඩකටයුතු මොනවද? 

කොවිඩ් නිසා අතපසු වූ වැඩ මේ දිනවල නැවත අරඹා තිබෙනවා. ඒ නිසා තරමක් කාර්ය බහුලව වැඩකටයුතු කරනවා.

ඔබගේ අලුත් ගීත ගැන කතා කළොත්? 

මං අලුත් ගීත කිහිපයක් කළා. නමුත් ඒවා එළිදැක්වීමට මට මේ වසංගත කාලයේ අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ නිසා බොහොමයක් දෙනා මගේ අලුත් ගීත ගැන දැනුවත් නැහැ. නමුත් මේ වනවිට වැඩසටහන් කිහිපයකදී මගේ ගීත මට ගායනා කිරීමට අවකාශය ලැබුණා. ඒ වගේම තවත් ඉදිරියට අලුත් නිර්මාණ කිහිපයක් සමාජයට මුදාහරින්න බලාපොරොත්තු වෙනවා.

බොහොමයක් සුපිරි තරු කලා අඹරේ අතරමං වෙනවා වගේම කඩා වැටෙනවා. ඔබ එයින් මිදුණෙ කොහොමද? 

රියැලිටි තරගවලින් බිහිවන තරු සංකල්පයේ ගායක ගායිකාවන්ට එය සාමාන්‍යයෙන් එල්ලවෙන චෝදනාවක්. මං විශ්වාස කරනවා ක්ෂේත්‍රයේ රැඳීසිටීම පවතින්නේ අපේ ක්‍රියාකාරකම් මතයි කියලා. වෙනත් ගායක ගායිකාවන් කන කට්ටට සාපේක්ෂව රියැලිටි තරගයකින් බිහිවන ගායක ගායිකාවන් ලේසි පාරක් මාධ්‍ය ආයතන තුළින් නිර්මාණය කර තිබෙනවා. ඔවුන් වේදිකාවට අපව හඳුන්වා දුන් පසුව ඉතිරි කර්තව්‍ය පවතින්නේ අපේ අතෙයි. අප වුවමනාවෙන් එකී පැවැත්ම ගොඩනඟා නොගත්තොත් අප නැතිවෙලා යනවා වගේම කලා අඹරේ අතරමං වෙනවා. ඒ නිසා අප අපගේ ගමන ගොඩනඟා ගන්නට ඉලක්කයක් නිර්මාණය කරගත යුතුයි. ඒ වගේම ඒ ඉලක්කයට මහන්සි විය යුතුයි.

පුද්ගල රුචිකත්වය පිළිබඳ යම් අවබෝධයක් ඇතුවද ඔබ ගීතයක් සමාජයට මුදාහරින්නේ? 

දැනට මං එළිදක්වා තිබෙන ගීත එකිනෙකට වෙනස්. ශාස්ත්‍රීය ගීතයක්, යුගල ගායනයක්, Electro, Pop වගේම ඉංග්‍රීසි ගීතයක් පවා මං සමාජයට නිකුත් කර තිබෙනවා. එසේ සමාජයට මුදාහැරීමෙන් අනතුරුව සමාජය ඒවා වැලඳගැනීම පිළිබඳ මං නිරන්තර සමීක්ෂණයක යෙදෙනවා. එකී පරීක්ෂණය තවමත් මං සිදුකරනවා. මේ කාලය තමයි එයට හොඳම අවධිය.

 

 

ඔබේ ජයග්‍රහණය ගැන ඔබේ ප්‍රතිවාදී තරගකාරිය චෝදනාත්මකව කතා කළා. ඔබ එයට දෙන පිළිතුර මොකක්ද? 

එකිනෙකාගේ තේරුම්ගැනීමේ පරාසය තුළයි එවන් ප්‍රකාශයන් නිකුත් කරන්නේ. ඇය මෑතකදී ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රකාශ කර තිබෙනවා. ඇයට තරගයක් තිබුණේ තුන්වැන්නත් සමඟයි කියලා. මට එවැනි ගැටලුකාරී තත්ත්වයක් තිබුණේ නැහැ. මට අවශ්‍ය වුණේ අවසන් අදියරේ තරගකරුවන් අතරට යෑම පමණයි. මොකද තරගය නරඹන්නේ නැති බොහොමයක් දෙනා අවසන් වටය නරඹනවා. විශාල ප්‍රේක්ෂක පිරිසකට එවිට නිරාවරණය වෙනවා.

එයින් ලබන ජනප්‍රසාදය තුළ තරගයේ එක වුණත්, දෙක වුණත්, තුන වුණත් පැවැත්ම ර¼දාපවතින්නේ ඉන්පසු අප කලාවේ රැඳී සිටින ආකාරය මතයි. එදා වේදිකාවේ සැබෑවුණේ මං කුඩා කල පටන්ම දුටු සිහිනය. ඒ නිසා කිසිදු හේතුවක් නිසා මං මගේ ගමන අතාරින්නේ නැහැ. ඒ කතාව ගැන මට කියන්න දෙයක් නැහැ. නමුත් මගේ බලාපොරොත්තුව නම කියද්දි ලංකාවම හඳුනන සංගීතඥයෙක් වීමටයි.

කිරුළ දිනාගැනීමත් සමඟම ප්‍රශංසා වගේම මඩ ඔබට සම සමව හිමිවුණා. තරුණියක් ලෙස ඒ සියල්ල උපේක්ෂාවෙන් දරාගත්තේ කොහොමද? 

මම ඒ මාතෘකාව ගැන කතා කිරීම සම්පූර්ණයෙන් නැවැත්වූවා. යම්කිසි පිරිසක් එය මං අවධානය ගැනීමට කළ දෙයක්. හෝද හෝද මඩේ දමා ගැනීමක් ලෙස හැඳින්වූවා. මම කළේ මාධ්‍ය සාකච්ඡාවල අසන පැනයට පිළිතුරු දීම පමණයි. ඒ නිසා ඒ පිළිබඳව නැවත කතා නොකිරීමට මම හිතාගත්තා. මේ වනවිට බොහෝදෙනා ඉන්ටර්නෙට් එකේ සයිබර් බුලින්වල ගොදුරු බවට පත්වෙන බව මං හොඳින්ම දන්න දෙයක්. අප ජීවත්වන විදිහෙන් ඒ මතයන් වෙනස් කළ හැකියි. නිකන් එල්ල කරන වචනවලට සැලෙන්න හොඳ නැහැ කියන මතයෙයි මම ඉන්නේ.

ප්‍රවීණයන්ගේ ඔබට ලැබුණු සහයෝගය කෙබඳුද? 

ඩ්‍රීම් ස්ටාර් තරගාවලිය යන අතරවාරයේදී පවා ප්‍රවීණයන්ගෙන් පෞද්ගලිකව අපට ඔවදන් ලබාදීලා ක්ෂේත්‍රයේ නිවැරදි මඟ පෙන්වූවා. අප වැනි නවකයන්ට ප්‍රවීණයන්ගෙන් ලැබෙන එකී ඔවදන් හා අවවාද ලොකු ශක්තියක් වගේම ආශීර්වාදයක්. තවමත් ඒ ආදරය එලෙසින්ම ලැබෙනවා.

අනාගත බලාපොරොත්තු මොනවාද? 

මම තවම මගේ සංගීත ගමන ආරම්භ කළා පමණයි. මගේ ලොකුම හීනය මගේ ගීත ලොකු පිරිසක් ඉදිරියේ ගායනා කිරීමයි. ඒ හීනය ඉටුකරගැනීමේ ‍ෙදාර විවෘත වී තිබෙනවා වගේම මට තවත් ලොකු දුරක් යෑමට හැකියාව තිබෙනවා. සංගීත ක්ෂේත්‍රය තුළ ඉදිරියට ගිහින් මගේ නම කියූ පමණින් මුළු රටේම හඳුනන කෙනෙක් බවට පත්වීමට වගේම අපේ රටේ නම ජාත්‍යන්තරයට ගෙනයෑමට මම බලාපොරොත්තු වෙනවා.

 

 

බොහෝමයක් රියැලිටි තරගවලින් බිහිවන තරගකරුවන් ප්‍රසිද්ධ වී සිටින්නේ වගේම ප්‍රසිද්ධ වේදිකාවල ගායනා කරන්නේ ප්‍රවීණයන්ගේ ගීත පමණයි. ඔබ අයත් වන්නේ ඒ කුලකයටද? 

රියැලිටි තරගවලින් බිහිවන තරගකරුවන් එහිදී යම් අසාධාරණයකට ලක්වෙනවා. රියැලිටි තරගාවලියේදී අප ගායනා කරන ගීත ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳගත් විට ප්‍රසංගවලදී ඒවා ගායනා කරන්න යැයි ප්‍රේක්ෂකයන් ඉල්ලීම් කරනවා. මේ වනවිට මට යම් ප්‍රසංගයකට ආරාධනා ලැබුණහොත් මාගේ ගීත දෙකක් ගායනා කිරීමට මම අවස්ථාවක් ඉල්ලනවා. එය මගේ ප්‍රතිපත්තියක් ලෙස දිගටම පවත්වාගෙන යනවා. නමුත් ඇතැමුන් එකී පදනම තුළ ස්ථාවර වීමට උත්සාහ කරනවා.

Bad Marketing ඔස්සේ ගීත ප්‍රචාරණය කිරීමේ ප්‍රවණතාව ඔබ දකින්නේ කොහොමද? 

ලංකාවේ Viral යන විදිහටයි මිනිස්සු Viral යවන්න උත්සාහ කරන්නෙත්. අපේ සමස්ත සමාජයට එවැනි වදින යමක් නොතිබුණොත් මිනිස්සු එම ගීත නරඹන්නේ නැහැ. අමුතු පින්තූරයක්, හිතාගන්න බැරි මාතෘකාවක් දැමීමට මිනිස්සු කුතුහලය තුළ ඒවා නැරඹීමට පෙලෙඹනවා. ගීතයට ගැළපෙන රූප රචනයක් නිර්මාණය කළොත් ඇතැම්විට මිනිසුන් එය නරඹන්නේ නැහැ. එය නිවැරදිවීමට මුළු සමාජයම උඩු යටිකුරු විය යුතුයි කියා මම විශ්වාස කරනවා.

ෆැලන් පෙම්වතියක්ද? 

නැහැ.

ආදරය ගැන මොකද හිතෙන්නේ? 

ආදරය කියන්නේ සෑම මනුස්සයෙක්ම විඳිය යුතු අත්‍යවශ්‍ය දෙයක්.

මව්බිම පුවත්පත. 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x