විශේෂාංග

ජාත්‍යන්තරය සම්මාන දිනූ වසර 30ක අත්දැකීම් ලත් ප්‍රවීණයෙක්

චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක්, තිර පිටපත් රචකයෙක් වශයෙන් මෙන්ම වැඩසටහන් නිෂ්පාදකයෙක්ද වන ඔහු ක්‍ෂේත්‍රය තුළ වසර 30ක අත්දැකීම් ලත් ප්‍රවීණයෙක්. නමින් ක්‍රිස්ටි ශෙල්ටන් ප්‍රනාන්දු වන ඔහුව මෙවර හදගැස්ම කතාබහට එක්කර ගන්නට අප සිතුවා.

කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? 

එක ටෙලි නාට්‍යයක් විකාශය වුණා. තව ටෙලි නාට්‍යයක් විකාශය වෙන්න නියමිතව තිබෙනවා. ඊට අමතරව තවත් ටෙලි නාට්‍ය දෙකක් සඳහා සූදානම් වෙමින් සිටිනවා.

ළඟදීම එන්න තිබෙන නිර්මාණය ගැන කතා කරමු? 

ළඟදීම එන්න තිබෙන නිර්මාණයේ නම කුංචනාද. කුංචනාද කියන්නේ ලංකාවේ තිබෙන අලි මිනිස් ගැටුම පිළිබඳව නිර්මාණය කෙරුණු කොටස් 40ක ටෙලි නාට්‍යයක්. ලංකාවේ අලි – මිනිස් ගැටුම වැඩිම ප්‍රදේශය කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව. මේ ටෙලි නාට්‍යය රූගත කළේ ගල්ගමුව, පින්නවල සහ උඩවලව යන ප්‍රදේශවල.

ඔබේ සිනමා නිර්මාණය ‘යාත්‍රා’ සිනමා උළෙල කිහිපයකම සම්මානයට පාත්‍ර වුණා නේද? 

ඔව්. ඇත්තටම ‘යාත්‍රා’ සිනමාපටය ලෝකයේ සම්මාන උළෙලවල් කිහිපයකම සම්මානයට පාත්‍ර වුණා. ලොස් ඇන්ජලීස්හි Festigious අන්තර්ජාතික සිනමා උළෙල, භූතානයේ DRUK අන්තර්ජාතික සිනමා උළෙල, ඉන්දියාවේ කොල්කටා අන්තර්ජාතික CULT සිනමා උළෙල, තාගෝර් සිනමා උළෙල, මදුරාසි ස්වාධීන අන්තර්ජාතික සිනමා උළෙල සහ රුසියාවේ EURASIA සිනමා උළෙලේ වගේම ස්ලෝවැකියාවේ KOSICE අන්තර්ජාතික සිනමා උළෙලේ ආදී සිනමා උළෙලහිදී හොඳම නිර්මාණය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිළිය ආදී විවිධ සම්මානයන්ට පාත්‍ර වුණා.

‘යාත්‍රා’ ලාංකික ප්‍රේක්ෂකයන්ට නරඹන්න පුළුවන් වන්නේ කවදාද? 

මේ තත්ත්වය යටතේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම අවදානමක්. එම නිසා සිනමා ශාලාවල සාමාන්‍ය පරිදි ප්‍රදර්ශනය ආරම්භ කළ පසුව තමයි චිත්‍රපටය තිරගත වීම ආරම්භ කරන්නේ.

සිනමාව කර්මාන්තයක් ලෙස රජය පිළිගනු ලැබුවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද? 

මම සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංගමයේ ලේකම්. අපි සංසදය විසින් කරපු හේතු දැක්වීම් සහ ඉල්ලීම් ගණනාවකින් පසුව තමයි රජය මේ තීරණයට එළැඹුණේ. සිනමාව කර්මාන්තයක් වීමෙන් නිර්මාණකරුවන්ටත් වඩා වැඩිම වාසිය ලැබෙන්නේ ප්‍රදර්ශකයන්ට. උදාහරණයක් ලෙස කර්මාන්ත සඳහා ලංකාවේ ජල-විදුලි බිල ගණනය කරන්නේ අඩුවෙන්. උපකරණ ගෙන්වීමේදී බදු සහන ලැබෙනවා. ඒ වගේම කර්මාන්තයක් වීම තුළ යුනෙස්කෝ වගේ ආයතනවලින් සපයන අරමුදල් ආදිය නිර්මාණවලට ලැබෙනවා.

මහා බි්‍රතාන්‍ය, නේපාලය හා ඉන්දියාව වගේ රටවල සිනමාව කර්මාන්තයක් වීම තුළ ලැබුණු සහන තමයි අපි රජයට ඉදිරිපත් කළ යෝජනාවලියේදී උදාහරණ ලෙස ගත්තේ. සිනමාවේ තිබෙන සියලුම ප්‍රශ්න මේ තුළින් විසඳෙනවා යැයි කියන්න බැහැ. නමුත් සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගැනීම 75 වසරක ලංකා සිනමා ඉතිහාසයේ ගත් වැදගත්ම තීරණයක් ලෙස සලකන්න පුළුවන්. එහි ප්‍රතිලාභ අපිට ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා.

ටෙලි නිර්මාණයක් කිරීමේදී නිර්මාණකරුවන් මුහුණ දෙන ගැටලු මොනවාද? 

ප්‍රධානම ගැටලුව වන්නේ විකාශය සඳහා නාළිකාවක් සොයාගැනීම. නාළිකාවල අවර ගණයේ ටෙලි නාට්‍ය විකාශය වෙනවා, යම්කිසි මණ්ඩලයකින් අනුමත කළ බවක් හෝ තේරීමක් හෝ කළ බව බවක් පෙනෙන්නට නැහැ. කුමන පදනමක් මත ඒවා තෝරා ගන්නවාද කියන්න දන්නේ නැහැ. මේ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් වෙලා නැහැ. අනෙක් කාරණාව ටෙලි නාට්‍ය සඳහා ගෙවන මුදල ප්‍රමාණවත් නැහැ. 90 දශකයේ සහ 2000 යන කාල වකවානුවලදී ටෙලි නාට්‍යයක් සඳහා ගෙවූ මුදලවත් දැන් ලැබෙන්නේ නැහැ. නමුත් නිෂ්පාදන වියදම ඒ කාලයට සාපේක්ෂව තුන් ගුණයක් පමණ ඉහළ ගිහින් තිබෙනවා.

රංගන ශිල්පීන් පවසනවා මේ ක්‍රමය ඇතුළෙ ඔවුන් කම්කරුවන් බවට පත්වෙලා කියලා. අධ්‍යක්ෂවරයෙක් විධියට ඒ ගැන ඔබේ අදහස කුමක්ද? 

නළු නිළියන් පමණක් නොවෙයි. සියලුම දෙනා කම්කරුවන් බවට පත්වෙලා තිබෙන්නේ. එක් රංගන ශිල්පියෙක් දිනකට දර්ශන දර්ශන වාර 8ක පමණ පෙනී සිටිනවා. අධ්‍යක්ෂවරයා එම දිනයට නියමිත සියලු දර්ශන වාර අධ්‍යක්ෂණය කළ යුතුයි. එලෙස බැලුවහොත් අධ්‍යක්ෂවරයා ඊට වැඩිය කම්කරුවෙක් වෙලා. මේක හැමෝටම තිබෙන ප්‍රශ්නයක්.

මේ ගැටලු සඳහා විසඳුම් සෙවීමට නිර්මාණකරුවන්ගේ එකමුතුවකින් යම්කිසි වැඩපිළිවෙළක් සකස් කරන්න උත්සාහ ගෙන නැද්ද? 

ශ්‍රී ලංකා රූපවාහිනී වෘත්තිකයන්ගේ සංවිධානයක් හදලා 2017, 2018 අවුරුදු දෙකේදී මුළුමනින්ම ඒ සඳහා අපි කැප වුණා. නාට්‍යයක් අගය කළ යුත්තේ කොහොමද ඒ සඳහා සලකා බැලිය යුතු නිර්ණායක, නාට්‍යයක් සඳහා ගෙවීම් පදනම, නාළිකාවලට ආදායම් ලැබෙන වෙනත් ක්‍රම ආදිය සලකා බලා විධිමත් වාර්තාවක් හැදුවා. මේ සඳහා නළු නිළියන්, වේශනිරූපණ ශිල්පීන්, අධ්‍යක්ෂවරුන්, කැමරා ශිල්පීන් ආදී ටෙලිවිෂන් කර්මාන්තයේ සිටින බහුතරයක් දෙනා එකතු වුණා. එම වාර්තාව අපි වගකිවයුත්තන්ට ඉදිරිපත් කළා. එවකට සිටි ජනාධිපතිවරයා එය පිළිගැනීමකටත් ලක් කළා. කුමක් හෝ හේතුවකින් එය අදටත් ක්‍රියාත්මක වුණේ නැහැ.

ලාංකේය තරුණ පරපුර විදේශීය මාලා නාටක බලන්න පෙලඹිලා තිබෙනවා. ලාංකේය ටෙලි නාට්‍ය වෙත ඔවුන් ඇද බැඳ තබාගන්න නොහැකිද? 

ඉතා හොඳ මට්ටමේ ටෙලිනාට්‍ය ලෝකේ හැදෙනවා. ඒ සඳහා දරන වියදමත් ඉහළයි. මම කියන්නේ නැහැ මුදල නිසාම හොඳ නිර්මාණ හැදෙනවා කියලා. නමුත් නිෂ්පාදන වියදම මත සියල්ල තීරණය වෙනවා. ඒ වගේම බහුතරයක් අපි දකින අපේ ටෙලි නාට්‍යවල නිර්මාණශීලීත්වයේ අඩුවක් පෙනෙනවා. ලංකාවේ කිසිම දෙයක් කරන්න බැරි අයට කරන්න පුළුවන් වැඩ තුනක් තිබෙනවා. එකක් දේශපාලනය, අනෙක කුමක් හෝ ආගමක පූජකයෙක් වෙන එක. තුන් වැනි එක කලාවට එන එක. කලාවට එන්න විධිමත් පිළිවෙළක් නැහැ. අධ්‍යාපනය ලබන්න ක්‍රමවේදයක් නැහැ. නුසුදුස්සෝ ක්‍ෂේත්‍රයට පැමිණීමත් නිර්මාණවල ගුණාත්මක බව අඩුවෙන්න හේතුවක්. මේ කාරණා සියල්ලම නිසා ප්‍රේක්ෂකයන් නිර්මාණවලින් අෑත් වෙනවා.

නිර්මාණකරුවන් ඩිජිටල් වේදිකාවල නිර්මාණ කරන්න පෙලඹිලා තිබෙනවා. ලංකාවට මේ කඩඉම ජයගන්න හැකිවේවිද? 

තාක්ෂණය සමඟ අපි ඉදිරියට යා යුතුයි. සිනමාව දියුණුම රටක් ලෙස ඉන්දියාවේ නෙට්ෆිලික්ස් වැනි ප්‍රධාන ප්ලැට්ෆෝම් හැරුණුකොට ඕ.ටී.ටී. නාළිකා 80ක් පමණ තිබෙනවා. ලංකාවේ නම් සංස්කෘතික වශයෙන් පොඩි දුප්පත්කමක් තිබෙනවා. ලංකාවෙ සිනමාව සම්පූර්ණයෙන්ම නැතිවෙලා ගියත් මිනිස්සු ඒ වෙනුවෙන් කතා කරන එකක් නැහැ. නමුත් අපිට පමණක් මේ තාක්ෂණයට සමගාමීව ගමන් කරන්න නොහැකි වෙන්න බැහැ. සිනමා ශාලා තවදුරටත් පවතින්න නොහැකි වුණොත් අපිටත් මෙවැනි විකල්ප තෝරා ගන්න සිදු වෙනවා. දැනටත් ලංකාවෙ සිනමා සිලෝන් නමින් ප්ලැට්ෆෝම් එකක් තිබෙනවා. තවත් හැදෙමින් පවතිනවා. ඒ වගේම එවැනි ප්ලැට්ෆෝම් සඳහාම නිර්මාණ නිර්මාණය වෙනවා.

නිර්මාණකරුවෙක් වශයෙන් ඔබ මෙතෙක් ආ ගමන් මඟ ගැන මොකද හිතෙන්නේ? 

ඇත්තටම සතුටුයි. නිර්මාණ සඳහා කිසිම අනුග්‍රහයක් නැති ලංකාව වගේ රටක ස්වෝත්සාහයෙන් ආපු මේ ගමන ගැන සතුටුයි.

ඔබේ ඉදිරි නිර්මාණ මොනවාද? 

තවත් සිනමා නිර්මාණයක් කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. ඉදිරියේදී බලමු.

ඉදිරි බලාපොරොත්තු මොනවාද? 

නිර්මාණකරණයේ යෙදීම තමයි මගේ බලාපොරොත්තුව.

කුශාන්ති අනුරාධා බණ්ඩාර – මව්බිම පුවත්පත.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x