තරු කතා

හැඟීම්වලට වහල් වෙනවට වඩා හොඳයි හරියටම තේරුම් ගත්තු කෙනා එනකන් ඉන්න එක

මේ දිනවල ස්වාධීන රූපවාහිනිය තුළින් විකාශය වන ‘අදුන්ගිර’ ටෙලි සිත්තම තුළින් වගේම හිරු නාළිකාවේ විකාශය වන ‘මහවිරු පණ්ඩු’ තුළින් ඔබ හමුවට එන ඇය තුෂාරා, සරුංගල් වැනි සිනමා නිර්මාණ තුළින්ද ප්‍රේක්ෂක ආදරය හිමිකරගත් රංගන ශිල්පිනියක්. ඇය ශාලිකා එදිරිසිංහයි. මේ කතාබහ දිගහැරෙන්නේ ඇය පිළිබඳවයි.

මේ දිනවල වැඩකටයුතු මොනවද? 

මේ දිනවල ‘අහිමි’ කියන ටෙලි ෆිල්ම් එකේ රූගත කිරීම් සිදු කරනවා. ඊට අමතරව ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘අදුන්ගිර’ ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු සිදු කරගෙන යනවා. ඒ වගේම හිරු නාළිකාවේ ‘මහ විරු පණ්ඩු’ ටෙලි නාට්‍යය විකාශය වෙනවා.

‘අදුන්ගිරේ’ ඔබ නිරූපණය කරන්නේ වෙනස් චරිතයක්. ඒ ගැන කතා කරමු. 

ඇත්තටම අදුන්ගිර ටෙලිනාට්‍යයේ මම නිරූපණය කරන්නේ වෙනස් විදියේ චරිතයක්. එය සිංහල ගම්මානෙක ජීවත්වන දරුවන්ට ආදරේ කරන, පවුල වෙනුවෙන් කැපකිරීම් කරන දුප්පත් දමිළ කාන්තාවකගේ චරිතයක්. ඒක ඇත්තටම අභියෝගයක්. මම මේ චරිතය කරන්නේ ඉතාම ආදරෙන් වගේම කැමැත්තෙන්.

ලැබෙන ප්‍රතිචාර කොහොමද? 

ඇත්තටම ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. වෙනස් විධියේ චරිතයක් කියලා මිනිස්සු කතා වෙනවා.

‘අහිමි’ ගැනත් කතා කරමු. 

අහිමි කියන්නේ ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්මයාගේ තිර රචනයෙන් සහ නිපුන මහර්ෂි මහත්මයාගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන ටෙලි ෆිල්ම් එකක්. ආර්ථික ප්‍රශ්න මත හැලහැප්පීම්වලට මුහුණ දෙන පවුලක කාන්තාවකගේ චරිතයක් තමයි මම නිරූපණය කරන්නේ.

චරිත තෝරා බේරාගෙනද රඟපාන්නේ? 

රංගන ශිල්පිනියක් වුණහම ඕනෑම චරිතයක් නිරූපණය කළ හැකි විය යුතුයි. මට කරන්න පුළුවන් හොඳ වෙනස් විධියේ චරිතයක් ලැබුණොත් මම භාර ගන්නවා. චරිතය සුදුද කළුද කියලා බලන්නේ නැහැ. චරිතය තුළ යම් දෙයක් කරන්න පුළුවන් නම් භාර ගන්නවා. විවිධත්වයකින් යුතු චරිත කරන්න මම කැමැතියි. අපි සාමාන්‍යයෙන් රැකියාවක් කරනවා නම් හැමදාම එකම දේ කරන්න තිබෙන්නේ. නමුත් රංගන ශිල්පිනියක් විධියට මට සමාජයේ ජීවත්වන වෙනස් විධියේ විවිධ චරිතවල ජීවත් වෙන්න වාසනාව ලැබිලා තිබෙනවා.

ඒ නිසාම ද රංගන වෘත්තිය තෝරා ගත්තේ? 

මම තෝරාගත්තා නෙවෙයි. මට ඒ සඳහා අවස්ථාව ලැබුණා. මම කැමැත්තෙන් සිටියේ නර්තන ගුරුවරියක් වෙන්න. මම මුලින්ම වේදිකා නාට්‍යවල රඟපෑවා. ඊට පසුව කිඳුරු නදිය කියන ටෙලි නාට්‍යයේ කාංචනා මෙන්ඩිස්ගේ නංගිගේ චරිතය රඟපාන්න අවස්ථාවක් ලැබුණා. ඒ විධියට තමයි රංගනයට පිවිසුණේ. නොදැනුවත්වම මේ වෘත්තියට පිවිසුණා.

නර්තන ගුරුවරියක් වීමේ සිහිනය මඟහැරුණාද? 

ඔව්. නර්තන ගුරුවරියක් වීම නම් මඟහැරුණා. නමුත් නර්තන අංගයන් සහිත චරිත මම කරලා තිබෙනවා. ඉදිරියටත් නර්තනය සම්බන්ධ නිර්මාණ ලැබුණොත් සහභාගී වෙනවා.

ඔබේ සමකාලීන ශිල්පිනියන් සමහරෙක් දැන් නිර්මාණවල දකින්න ලැබෙනවා අඩුයි නේද? 

ඔව්. සමහරෙක් දකින්න ලැබෙනවා අඩුයි. සමහර අය විවාහ වෙලා විවිධ හේතු නිසා ක්ෂේත්‍රයෙන් ඉවත් වෙලා. ඒ වගේම ලැබෙන මුදල සහ අනෙක් කරුණු ගැන තැකීමක් කරන්නේ නැතිව අඩු මුදලටත් නිර්මාණවලට සහභාගී වෙන්න සූදානම් වෙලා සිටින අය ඕනෑ තරම් සිටිනවා. ඒකත් එක හේතුවක්. මම මගේ වැඩකටයුතු සාමාන්‍ය පරිදි දිගටම කරගෙන ආවා. මම හිතන්නේ ක්ෂේත්‍රයේ රැඳිලා සිටින එක තමයි වැදගත් වෙන්නේ.

රියැලිටිවලින් රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් බිහි වීම ඔබ දකින්නේ කොහොමද? 

රියැලිටිවලින් හෝ දක්ෂයන් බිහි වෙනවා නම් ඒක හොඳයි. රියැලිටිවලින් යම්කිසි අත්දැකීමක් ලැබෙනවානේ. ක්ෂේත්‍රයට පිවිසෙන බොහෝ අය රංගනය පිළිබඳ හදාරපු අය නොවෙයි. ඔවුන් අත්දැකීම් තුළින් සහ පොත පත කියවලා, ප්‍රවීණයන් දිහා බලාගෙන තමයි හැදෙන්නේ. එම නිසා රියැලිටිවලින් ක්ෂේත්‍රයට පැමිණියත් ඔවුන් දක්ෂයන් නම් ගැටලුවක් නැහැ කියලයි මම හිතන්නේ.

අලුත් පරපුර ගැන මොකද හිතන්නේ? 

අලුත් පරම්පරාවේ ගොඩක් දක්ෂයන් සිටිනවා. අවබෝධයෙන් වටිනාකමක් හදාගෙන ඉදිරියට යනවා නම් හොඳයි.

කොවිඩ් වසංගතයත් සමඟ රංගන ශිල්පිනියක් විධියට මුහුණපාන ගැටලු මොනවාද? 

කොවිඩ් නිසා මම මුහුණ දෙන ගැටලු ගැන කතා කළොත් මම පෞද්ගලිකව රෙදි ව්‍යාපාරයක් කළා. දැන් අවුරුදු දෙකක පමණ සිට ව්‍යාපාර කටයුතු නැවැතිලා තිබෙන්නේ. රංගනය පැත්තෙන් ගත්තොත් බොහෝ වැඩ නැවැත්වූවා. ඒ වගේම රූගත කිරීම් කරන්නේ අවදානමක් ඇතිව. අලුත් වැඩ පසුවට කල් දැම්මා. කොවිඩ් කියන්නේ අපිට අනෙකා ගැන හිතන්න කියලා මතක් කළ වසංගතයක්. අපේ ආදරණීයන් ගැන අපි සැලකිලිමත් විය යුතුයි. නිරෝගීකම තමයි වටින්නේ.

මම මගේ මවුපියන්ට ගොඩක් ආදරෙයි. ඔවුන් ගැන හිතලා බොහෝ වැඩ අතහැරියා. මම නිවෙසට වෙලා සිටියා. නිර්මාණ පැත්තෙන් සහ ආර්ථිකමය වශයෙන් යම්කිසි පසුබෑමක් සිදු වුණා. නමුත් ඉතින් ජීවිතේ කියන්නේ ඒකට තමයි. මේක අපි හැමෝටම මුහුණ දෙන්න වුණු දෙයක්.

සිනමාවේ ඔබේ භූමිකාව කතා කළොත්? 

මම දැනට තුෂාරා, සරුංගල්, බෝනික්කා ආදී චිත්‍රපට කිහිපයකටම රංගනයෙන් දායක වුණා. ඉදිරියට තිරගත වීමට තවත් චිත්‍රපට තුනක් පමණ තිබෙනවා. මේ දිනවල නම් චිත්‍රපට කෙරෙන්නේ නැහැ.

ඔබ ව්‍යාපාරිකාවක් විධියටත් කටයුතු කරනවා. රංගන ක්ෂේත්‍රය තුළ වෘත්තිය තත්ත්වයක් පවත්වාගෙන යන්න අපහසුද? 

නැහැ එහෙම දෙයක් නැහැ. අපිට ලැබෙන මුදල කළමනාකරණය කරගන්න අපි දැනගන්න ඕනෑ. නමුත් මම හිතන්නේ අපිට වෙනත් ව්‍යාපාරයක් තිබෙනවා නම් මුදල ගැන පමණක් සිතන්නේ නැතිව නිර්මාණයක ගුණාත්මක බව සලකලා හොඳ නිර්මාණ සඳහා පමණක් දායක වෙන්න පුළුවන්. අපිට තෝරා බේරා ගැනීමක් කරන්න පුළුවන්. රංගනයේදී අපි අද හම්බකරගන්න එකක් පමණයි. නමුත් අපිට වෙනත් වෘත්තියක් හෝ ව්‍යාපාරයක් තිබෙනවා නම් අනාගතය සුරක්ෂිතයි.

පවුලේ අයවත් මතක් කරමු. 

මමයි අම්මයි තාත්තයි අයියලා තුන්දෙනයි පවුලේ සිටින්නේ. අයියලා තුන්දෙනාම විවාහ වෙලා. මමයි අම්මයි තාත්තයි තමයි පවුලේ ඉන්නේ.

ජීවිතේට සහකාරයෙක් සිටියොත් හොඳයි කියලා සිතෙන්නේ නැද්ද? 

සහකාරයෙක් හිටියොත් හොඳයි. නමුත් ඒ සුදුසුම කෙනා වෙන්න ඕනෑ. එහෙම නැතුව හැඟීම්වලට වහල් වෙලා තීරණ අරගෙන පසුතැවෙනවාට වඩා හොඳයි තමන්ට ගැළපෙන තමන්ව තේරුම් ගන්න කෙනෙක් ලැබෙන තුරු සිටින එක.

ඉදිරි වැඩ කටයුතු මොනවාද?

නතර කළ වැඩ කිහිපයක නැවත වැඩ ආරම්භ කරන්න තිබෙනවා. ඒ වගේම මගේ ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ කරන්න බලාගෙන සිටිනවා.

ඉදිරි බලාපොරොත්තු මොනවාද? 

බලාපොරොත්තු අපිව ජීවත් කරවනවා. නමුත් විශාල බලාපොරොත්තු නැහැ. මොකද එහෙම විශාල බලාපොරොත්තු තියාගත් පසුව දැනෙන දුක වැඩියි. හැමදෙයක් ගැනම මධ්‍යස්ථව හිතලා ජීවත් වෙනවා.

මව්බිම පුවත්පතේ හදගැස්ම අතිරේකයෙනි. 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x