තරු කතා

ජනප්‍රියකම නෙමෙයි වැදගත්, හැමදේම දාල යන්න දවසක් එනවා

ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා කලා ලොවේ කා අතරත් ජනප්‍රිය ආදරණීය ලොකු අයියා ලෙසින්. කලාවට සහ සිය වෘත්තිය රංගන ජිවිතයට ඇති කැපවීම සහ ආදරය නිසාම එදා සේම අදත් ප්‍රේක්ෂක ආදරය එක සේ නොඅඩුව ලබන්නට වාසනාවන්ත වී තිබෙනවා. මෙගා නාට්‍ය නිර්මාණවලට දායක නොවූ මහේන්ද්‍ර පෙරේරා මේ වෙද්දී මෙගා නාට්‍යයකින් දකින්නට ලැබෙනවා. ඒ නිසාම හිතුනා රසඳුන සොඳුරු කතා බහකට සම්බන්ධ කර ගන්න.

මෙගා නිර්මාණයකට සම්බන්ධ වෙන්න තීරණය කළේ ඇයි ? 

මම මෙච්චර කාලයක් ප්‍රතිපත්තියක හිටියා කොටස් 150,200 නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. මට ආරාධනා ආවත් ඒවට ගියෙත් නැහැ. පහුගිය කාලයේ අපි හැමෝටම වෙච්ච අකරතැබ්බය තේරෙනවා නේ. මාස ගාණක් කිසිම වැඩක් නැතුව ඉන්න තත්ත්වයට පත්වුණා. දැන් වෙනකොට කලාකරුවන්ට ජිවත්වීමේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ද වෙලා තියෙනවා. කලාකරුවන්ට විතරක් නෙමෙයි අපි හැමෝටමත් එහෙමයි. මේ වැඩේට සම්බන්ධ වුණේ එකක් මාත් එක්ක කාලයක් තිස්සේ වැඩ කරන අය නිසාත් මෙගා වුණත් යම් පිළිවෙළකට මේ වැඩේ කෙරෙන නිසයි.

රැල්ල වෙරළට ආදරෙයි තමයි ඒ නිර්මාණය.. අපි ඒ ගැනත් කියමු 

මේ වැඩේට කතා කළාම, මේ වැඩේ කෙරෙන ආකාරය ගැන තෘප්තිමත් බවක් ආවා ඇත්තටම. මෙගා කිව්වට යම් කිසි සැලසුමකට වැඩක් කරන්න අපි කතා කළා. ආර්ථිකය අතින් ගත්තාමත් නිර්මාණය වෙනුවෙන් මට නිසි වටිනාකමක් ලැබුණා. මගේ චරිතය හරියට කරන එක තමයි වගකීම. මම ඒක හරියට කරනවා. මම ඒ නිසා නිර්මාණය බාර ගත්තා.

ප්‍රසන්න ජයකොඩිගේ 1999 වසරෙන් පසුව කරන නිර්මාණයකටත් ඔබ සම්බන්ධයි 

ඔව්, ඒ තමයි ‘එයා දැන් බැඳලා‘. ඊට කලින් චරිත් අබේසිංහගේ නිර්මාණයකුත් කළා ‘නම්බර් 09‘ කියලා. ඇත්තටම ඔය දෙක තමයි මේ කාලෙටම කළේ. මම ප්‍රසන්න එක්ක මීට කලින් වැඩ කරලා තියෙනවා. ප්‍රසන්න එක්ක වැඩ කරන එක ඇත්තටම හරිම රසවත්. නළුවෙක් නිළියෙක් ලබාගත යුතුම අවස්ථාවක් තමයි ඒක. මේ කතාවේ විශේෂත්වයක් තියෙනවා. මේක 28 චිත්‍රපටයේ මුල්ම කතාව. චිත්‍රපටයට සම්බන්ධ නැහැ. නමුත් චිත්‍රපටයේ ඉන්න චරිත මුල් කාලේ හමුවුණේ කොහොමද කියලා මේ නාට්‍යයේ කියවෙනවා. ප්‍රසන්න වුණත් කාලයක් ටෙලි නාට්‍ය අත්හැරලානේ හිටියේ. එත් දැන් අපිට අලුතෙන් හිතන්න වෙලා තියෙනවා.

 

ටෙලිනාට්‍ය කලාව තුළ පරිවර්තනයක් වෙමින් යනවා කියලා ඔබට හිතෙන නැද්ද? 

මටත් හිතෙනවා යම් පරිවර්තනයක් සිදුවෙමින් යනවා කියලා. යම් පිරිසක් උත්සාහ ගන්නවා ඉස්සර තිබ්බ ටෙලි නාට්‍ය කලාවේ ගුණාංග එක්ක යහපත් හොඳ නිර්මාණ කරන්න. මම කියන්නේ යම් පිරිසක්; හැමෝම නෙමෙයි. දැන් බලන්න ස්වර්ණවාහිණිය විදේශීය නාට්‍ය පෙන්වන්නේ නැහැ කියලා තීරණය කරලා තියෙනවා.

එතැනදී අපේ අධ්‍යක්ෂවරුන්ට අවස්ථාවක් එයි හොඳ නිර්මාණයක් කරලා පෙන්නන්න. හැමදෙයකම අවසානයක් තියෙනවා නේ. ඉතින් ඒක නිසා මට හිතෙනවා මේ කොරෝනා ප්‍රශ්නය එක්ක හැමදෙයක් ගැනම අලුතින් හිතන පරිවර්තනයක් කොහොමත් සිද්ද වෙයි කියලා. සුබවාදී ව හිතන් ඉන්නවා ඉතින්.

රංගනය සම්බන්ධයෙන් මධ්‍යස්ථානයක් පටන්ගන්න ඉන්නවා නේද? 

ඔව් රංගනය හදාරන්න , එකතු වෙන්න, සොයා යන්න තැනක් පටන්ගන්න මම හිතන් ඉන්නවා. සිනමාව ගැන රංගනය ගැන අධ්‍යයනය කරන අයට වැදගත් වෙයි. මාත් එක්ක තව පිරිසක් ඉන්නවා මේ වැඩේ දී. අන්න එහෙම තැනක නම් යුටියුබ් නාළිකාවක් පටන්ගන්න ඉඩ තියෙනවා. ඒක ආයතනයකට අයිති එකක් ඉතින්.

එතකොට මහේන්ද්‍ර පෙරේරා ඇකඩමි එකට මොකද වෙන්නේ 

මේ කාලේ නම් නවත්තලා තියෙන්නේ. නවත්තන්න වුණා ඇත්තටම මේ කොරෝනා නිසා. මේ අවුරුද්දේ නම් කරන්න බැරි වෙයි. ලබන අවුරුද්දේ බලමු යම් කිසි අලුත් දේවල් ටිකකුත් එකතු කරලා කරන්න. කලින් කියපු සෙන්ටර් එකත් එක්ක එකතු වෙලාම මේ වැඩෙත් කරන්න යන්න පුළුවන් වෙයි.

ඔබ සතතාභ්‍යාසයේ යෙදෙන කෙනෙක්. කලාකරුවකුට මේ දේ කොයි තරම් වැදගත්ද? 

කලාව කියන විෂයට සතතාභ්‍යාසය කියන එක අත්‍යවශ්‍යම කාරණයක්. ගායකයෙකුට වාදකයෙකුට නිර්මාණ ශිල්පියකුට මේ ඕනෑම කෙනකුට ඒක වැදගත්. රංගනයේදී අපි අපේ ශරීරයේ සැහැල්ලුව තියාගන්නේ කොහොමද? ශරීරයේ නම්‍යතාවය තියාගන්නේ කොහොමද? මානසික සැහැල්ලුව, පහසුවෙන් හුස්ම ගන්නේ කොහොමද?

මේවට පොඩි පොඩි ව්‍යායාම තියෙනවා. ඒවා ජිම් එකකට ගිහින් කරන ඒවා නෙමෙයි; ඊට වඩා හාත්පසින් වෙනස්. උදාහරණයක් ගත්තොත් ගායකයකුට කටහඬ දැන් හොඳයි කියලා නිකන් ඉන්න බැහැ. හඬ වෙනස් වෙනවා නිකන් හිටියොත්. ඒ නිසා හැමදාම අභ්‍යාසයේ යෙදෙන්න ඕන. මම රංගනයට ආපු කාලේ වැඩමුළුවලට ගියා. දරුණු විදිහට ව්‍යායාම කළා. අද වෙනකොට මම ඒ තරම් ව්‍යායාම කරන්නේ නැති වුණාට දිගටම අභ්‍යාසයේ යෙදෙනවා.

මොන රැලි ආවත් කලාවේ මහේන්ද්‍ර පෙරේරා ඉන්නවා එක සේ. මේකේ රහස මොකක්ද ? 

මගේ ගැන කියද්දී මම විසිතුරු දේවල් පස්සේ දිව්වේ නැහැ. විෂය ඇතුළෙ හිටියා. වාණිජ සහ කලාත්මක කියන ධාරා දෙකේම හොඳ විදිහට පවතින්නේ කොහොමද කියලා මම හිතුවා. මම නිර්මාණයක් බාරගත්තා නම් ඒක සියයට සියය නෙමෙයි සියයට දෙසීයක් කළා. තෘප්තිමත් වෙන මට්ටමට හැමදෙයක්ම කළා. නොම්බර 01 වෙන්න ඕන කියලා එකක් නැහැ; එත් හොඳ නළුවෙක් වෙන්න ඕන. හොඳම නළුවා වෙන්න ඕන ඇත්තට ම. ජනප්‍රියකම නෙමෙයි වැදගත්. මම ඒ හැමදේම අත්විඳලා තියෙනවා. එත් අන්තිමට හැමදේම දාල යන්න දවසක් එනවා.

ගිහාන් කාලිංග – සිළුමිණ පුවත්පතේ රසඳුන අතිරේකයෙනි. 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x