විශේෂාංග

වයස අවුරුදු එකසිය හතරක් වුණත් කුරුඳු තලමින් ජීවිතය දිනන එන්සොහාමි

බොහෝ වෙලාවට අපි වයසින් වැඩි වෙනවාත් සමගම දැන් වයසයි කිසිම දෙයක් කරන්න බැහැ කියන මතයේ තමයි ඉන්නේ. නමුත් තමන්ගේ ගතයි සිතයි ශක්තිමත් නම් වයස කියන්නේ ඕනෙම පුද්ගලයෙකුට ඉලක්කමක් විතරයි.

ඉතින් අපි අද ඔබට කියන්නට යන්නේ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම යකඩ ගැහැනියක් ලෙස නම් කළ හැකි තිත්තගල්ල පෑලස්සේ මිරිස්වත්ත ගම්මානයේ වෙසෙන අල්ගෙවත්තේ එන්සොහාමි පිළිබඳවයි. වර්ෂ 1916 තුන්වෙනි මස දෙවැනි දින තිත්තගල්ල දංගලෙ ගොඩ ගම්මානයේ උපත ලබන එන්සොමේ වන විට වයස අවුරුදු 104 ක මිත්තනියක්.

වයස අවුරුදු එකසිය හතරක් වුණත් තාමත් කොග්ගල ඔය අසල සිට ඇය පාගමනින්ම පලා මිටියක් අතැතිව එක් අතකින් දවටාගත් මල්ලක් රැගෙන ගම්මානයේ පියමං කරන්නේ තරුණ කෙල්ලෙක් වගෙයි. අඩි 6 කට අධිකව උස ඇති එන්සොහාමි ටිකක් කුදුයි. ඇයට හැඩිදැඩි දේහ විලාසයක් තියෙනවා.

ඉස්සර කාලේ කොස් පොළොස් කාලා ඉතාමත් සරල ජීවිතයක් ගත කරපු ඇය තාමත් නිරෝගී සම්පත්තියෙන් ජීවිතය විඳිනවා. ඇය අකුරු සාත්තරේ නම් දන්නේ නැහැ. නමුත් ජීවිතය පිළිබඳව පරිසරය පිළිබඳව ඇගෙන් ඉගෙන ගත යුතු කරුණු බොහොමයක් තියෙනවා.

ඇය රැකියාව විදිහට තාමත් කරන්නේ කුරුඳු තලන එක. මේ රැකියාව ඇගේ ස්වාමි පුරුෂයාගේ ප්‍රධාන වෘත්තිය වුණා කියලත් එන්සොහාමි සඳහන් කළා. එන්සොහාමි ජීවත්වන ගම්මනයේ එදා වගේම අදත් කුරුදු තැලීම සිද්ධ කරන්නේ ඇය විසින්. එන්සොහාමි කුරුඳු තලන්න උදේම ලොකු පුතාගේ ගෙදරට පයින් යනවා.

ඇයට දරුවන් 10 දෙනෙක් සිටිනවා. ලොකු පුතා පබාරිස්ට වයස 75ක් වන අතර ලොකු දුව කුසුමාවතී ට වයස හැත්තෑ හතරක් වන විට දෙවැනි දුව අමරාවතී ට වයස හැට අටක් වෙනවා. ලොකු පුතා එක්ක එකතු වෙලා හරි හරියට කුරුදු වැඩ කරන්න ඇය ආසයි.

පුතා කුරුඳු කපලා ගෙදර වාඩියට ගෙනත් දානවා. එහෙම ගෙනත් දාපු කුරුඳු කෝටු සකස් කරලා පිළිවෙලට ඇසුරුම් කරන්නේ එන්සොහාමි විසින්. අවුරුදු එකසිය හතරක් ආයු වැළඳුවත් තාමත් හන්දි රුදාව කොන්දේ කැක්කුම ආදී විවිධාකාර ලෙඩ රෝග නම් ඇයට හානියක් නැහැ .

කහට කෝප්පයක් බීලා පාඩුවේ වැඩ කරගෙන යන්න තමයි එන්සොහාමි ප්‍රිය කරන්නේ. මේ තරම් යහපත් සෞඛ්‍ය රටාවක් අනුගමනය කරන ඇය මස් මාළු කන්නේ නැහැ.බිත්තර කන්නේ නැහැ. පෝෂදායී ආහාර විදිහට ඇය අනුභව කරන්නේ පොලොස්,කොස් ,පලා කොල මැල්ලුම් සහ කැකුළු බත් ආදී දේවල්.

නිරන්තරයෙන්ම ආගමට දහමට ලැදි එන්සොහාමි නොවරදවාම පන්සලේ බණත් තිබ්බොත් බන ඉවර වෙනකම්ම එකම ඉරියව්වෙන් සැදැහැ සිතින් ඒ සඳහා දායක වෙනවා. පන්සලේ ස්වාමීන් වහන්සේත් එන්සොහාමිව ආදර්ශෙට ගන්න කියලා ගොඩක් දෙනෙක් ට ගුරුහරුකම් දෙන අවස්ථාත් වැඩියි.

නිකන් ඉදලා පුරුදු නැති ඇය නිරන්තරයෙන්ම වැඩ කරන්න තමයි උත්සහ කරන්නේ. පාන්දර තුන හතර වෙනකොට අවදිවෙන එන්සොහාමි උදෙන්ම කුරුඳු රස්සාවට පිටත් වෙනවා. ගේදොර වත්ත පිටිය හොදින් ආරක්ෂා කර ගන්නත් ඒවා රැක බලා ගන්නත් ඇයට තාම ශක්තිය තියෙනවා.

ඇය දරුවන් දහ දෙනෙකුගේ මවක්. මේ වන විට ජීවතුන් අතර ඉන්නේ ඉන් කිහිප දෙනෙක් පමණයි. අවුරුදු දාසය වැනි කුඩා කාලයේ දී විවාහ ජීවිතයට ඇතුළත් වෙන එන්සොහාමි එදා ඉඳන් ඉදන් අද දක්වා කාටවත්ම කරදරයක් නොවී ජීවත් වෙන්න තමයි උත්සහ කළේ.

වයස අවුරුදු 104ක් වුණත් ජීවිතය ජය ජය ගැනීමට වයස බාධාවක් නොවන බව සියලු දෙනාටම කියාදුන් එන්සොහාමිට තවත් චිරාත් කාලයක් ජීවත් වීමට වාසනාව උදාවේවා කියා අපි සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

M.ශෂිකලා මදුෂානි
BA in Communication Studies

srilankabrand.info වෙබ් අඩවියෙනි.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x