තරු කතා

ලෝන්දාලා බෙන්ස් අරන් රෑට නිදහසේ නිදාගන්න බැහැනෙ

අපි කලාවට ආදරෙයි නම්, කලාව හරියට කරනවා නම්, මිනිසුන්ට එයින් නිවැරදි පණිවුඩයක් දෙනවා නම්, ඒක දෙන්නට ඕනෑ. නමුත් පාවිච්චි කරන බෙන්ස් එක හෝ තමා සතු සුපිරි රථයෙන් හෝ වෙනත් දෙයකින් නෙවෙයි පණිවුඩය දෙන්නට ඕනෑ. තමා කරන නිර්මාණය වෙතින්. මෙහෙම කියන්නෙ ධනුක ඩිල්ෂාන්. ධනුක මේ දිනවල අපට හමුවන්නෙ පියාඹන මූනිස්සම් නාට්‍යයේ මෝක්ෂ නමැති චරිතය සමගයි. ඊට සාපේක්ෂව ඔහු අපට කියන්නෙ මොනවද බලමු.

පියාඹන මූනිස්සම්, මෝක්ෂ කොහොමද ඉතිං? 

මෝක්ෂ කියන්නෙ කාලීන සමාජයේ ජීවත් වන තරුණයකුගෙ චරිතයක්. අනුරුද්ධ ජයසිංහ අයියා අධ්‍යක්ෂණය කළ එහි කැමරාකරණය චින්තක සෝමකීර්ති අයියගෙ. සිරසෙ රාත්‍රී 9.30 ට මේ මෝක්ෂව හමුවෙන්න පුළුවන්. දිගටම නැරඹුවොත් එයා කවුද කියලා හරියටම දැනගන්න පුළුවන්.

ධනුක පසුගිය දිනවල වැඩිය පෙනෙන්න දකින්න හිටියෙ නැහැ, මොනවද කළේ? 

තණමල්විල කොල්ලෙක් නාට්‍යයෙන් පස්සෙ වෙන වැඩක් බාරගත්තෙ නැහැ. ඒකෙන් පස්සෙ වැඩ කීපයක්ම ලැබුණත්, අන්තිමට අනුරුද්ධ ජයසිංහ අයියගෙ මේ වැඩේ තමයි බාරගත්තෙ. මෙගා නාට්‍යවල වැඩ කරන්නෙ නැහැ කියන අදහස එක්ක හිටියෙ.

ඇයි මෙගා නාට්‍යවල වැඩ කරන්නෙ නැත්තෙ? 

ඒකට හේතුව හොඳ නිර්මාණ නොලැබෙන නිසා නෙවෙයි. හොඳ නිර්මාණ කෙරෙනවා. ඒත් ඒවා අධ්‍යක්ෂණය කරන, නිෂ්පාදනය කරන නිර්මාණකරුවන්ට ඒවා පෙන්වා ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. චැනල් විසින් හම්බ කරන නිර්මාණ තමයි පසුගිය කාලයේදි වැඩිපුරම එළියට ආවෙ. ඒ පැත්තෙ මම නැති නිසා, මාව පෙනෙන්නත් නැතුව ඇති.

කොහොම වුණත්, ධනුකගෙ ප්‍රධාන වෘත්තිය රංගනයනෙ? 

පොඩි කාලයේ ඉඳලාම රංගනය ගැනම හිත යොමුකළ නිසා වෘත්තිය කරගත්තෙ රංගනය. ඒ වුණත් කලාව වෙතින් ජනතාවට, රටට යහපතක්, පණිවුඩයක් දීම හැර සල්ලි මත්තෙම ගිහින් ඕනෑම එකකට දායකවීම අරමුණු කරගත්තෙ නැහැ.

මේ ඔක්කෝම කරන්නට පෙර හොඳට ක්‍රිකට් ගහපු කෙනෙක්නෙ? අදටත් හිතෙන්නෙ නැද්ද ක්‍රිකට් ගහන්න? 

අදටත් මම ක්‍රීඩා කරනවා. බොහෝ දුරක් යාමට බැරි වුණේ රංගනය තෝරාගත්ත නිසයි. දෙවැනි පෙළ තරගවලට තවමත් සහභාගි වෙනවා. කුඩා කාලයේ ඉඳලා මගේ ක්‍රිකට් පුහුණුකරුවන් වූ මහත්මාවරුන්ගේ මගපෙන්වීම ඔස්සේ තවදුරටත් මම ක්‍රීඩා කරනවා.

කොහොමද ඉතින් මේ දිනවල ජීවිතේ? 

සරලයි, සාමාන්‍යයි,

ඔබ කිව්වනෙ කරන එක දෙයක් හෝ හරියට කරන්නත් ඕනැය කියලා, ආදරය ප්‍රේමයේදීත් එහෙමද? 

ඔව්, අනිවාර්යයෙන්ම එහෙම වෙන්නම ඕනෑ. මම ආදරය කරන්න පටන්ගත්තෙ එකොළහ වසරෙ සිටින කාලයේදී. එයාව බඳින්න ඕනෑය කියලා මම ගෙදරට කිව්වා. ඒ ගැන තුන් හතර පාරක්ම ගෙදරට කිව්වත් ඒක හරි ගියේ නැහැ. පස්සෙ පස්සෙ ජීවිතය ගැන අවබෝධ වෙන්න, අවබෝධ කරගන්න පුළුවන් කාලය ආවාම, ආදරය කියන්නෙ සිල්ලර දෙයක් නොවන වග වැටහුණා. ආදරය කියන්නෙ විවාහ නොවුවත් පිරිසිදු දෙයක්. ඒ හැරත් මම සිල්ලරට ආදරය කරන කෙනෙක් නෙවෙයි. වසර හතර පහක සිට ප්‍රේමවන්තියක් නැහැ. ඒත් ආදරය මට ලැබෙනවා.

ධනුක කියනවටද වඩා ආස? ඩිල්ෂාන් කියනවටද? 

ඕනෑ එකක් කියන්න අප්පා. යාළුවෝ මට ධනා කියනවා, ධනුවා කියනවා, ධැනියා කියනවා, ඔය එක එක නම් කියනවා. මගේ ඇත්ත සම්පූර්ණ නම මුදියාන්සේලාගෙ ධනුක ඩිල්ෂාන්.

පසුගිය දිනවල සමහරු කිව්වෙ ධනුක රට අත්හැරලා යන්නයි හදන්නෙ කියලයි? එහෙම අදහසකුත් තියෙනවද? 

එහෙම අදහසක් තිබුණා. කොහොමටත් මම වැඩිපුර ඉන්නෙ ජර්මනියෙ. මගේ නංගිවත් බර්ලින්වල යුනිවර්සිටි එකකට යොමුකළා. නංගිව ආයෙත් යුනිවර්සිටි දාන්න යනකොට එයාව ඇරලවන්න මටත් යන්න වෙනවා. මෙහේ වැඩක් තිබුණොත් තමයි එන්නෙ. ඇවිත් ඒකට දායක වෙලා, ඊට පස්සෙ යනවා. මගේ විදිය එහෙමයි. ප්‍රංශයේ සිට රංගනය ගැන ඩිප්ලෝමාවක් හදාරමින් ඉන්නෙ.

ධනුකගෙ වයසෙ පසුවන ක්ෂේත්‍රයේ සිටින අය ක්ෂේත්‍රයෙම අය එක්ක විවාහ වෙනවා. ඒ වගේ විවාහයන් ගැන හිතන්නෙ කොහොමද? 

විවාහයට මම හිතන්නෙ ක්ෂේත්‍රය අදාල වෙන්නෙ නැහැ. ඒක සාපේක්ෂ දෙයක්. නමුත් ඉස්සර අපේ අම්මලගෙ – තාත්තලාගෙ කාලයේදි තිබූ ස්වභාවයට වඩා අද ප්‍රේමය වෙනස්. තාක්ෂණයේ පහසුව එක්ක ප්‍රේමය සහ ප්‍රේම කරන විදිය වෙනස් වෙලා.

ධනුක හිතන විදියට ප්‍රේමය මොනවගේ විය යුතුද? මොන වගේ කළ යුතුද? 

ප්‍රේමයට කලින්, මිනිසුන් සාරධර්ම සහ සංස්කෘතිය වටහාගන්න ඕනෑ. ඒවායින් ඈත්වීම හොඳ දෙයක් නෙවෙයි. ඒක තම නිවෙස්වලින්ම තමයි මතුවෙන්න ඕනෑ. එහෙම නැතුව තමුන්ම හොයාගෙන ගිහින්, තමුන්ගෙ අවශ්‍යතාවය සපුරාගන්න හදන ප්‍රේමය කියලා හිතන දෙයක් තමයි අද බොහෝ විට අපට දැකගන්නට ලැබෙන්නෙ. යාන්ත්‍රික නොවී මීට වඩා අරුත්බර වුණා නම් හොඳයි.

තණමල්විල කොල්ලෙක් නාට්‍යයේ දිමිත ගෙන් පසුව ධනුක සෑහෙන්න වෙනස් වුණාය කියලා සමහර යාළුවො කියනවා. ඇත්තම කියන්න එහි රඟපෑමෙන් පස්සෙ පුද්ගලිකව ඔබ වෙනස් වුණාද? 

එහෙම කියන්නත් පුළුවනි. ජීවිතයේ බොහෝ දේ වෙනස්වුණාය කිව්වොත් හරි. රොෂාන් රවින්ද්‍ර අයියා සහ තණමල්විල කොල්ලෙක්ගෙන් පසුව හමුවූ මිනිස්සු එක්ක, කලාව තේරුම්ගැනීම එක්ක, මට බොහෝ දේ වටහා ගන්න පුළුවන් වුණා. ඇයි අපි කලාව කරන්නෙ? මොකටද අපි කලාව කරන්නෙ? කියන දේ ගැන වටහාගෙන කලාවේ නියැලෙන්න අදහස් ඇතිවුණා. මේ ක්ෂේත්‍රය ගැනත් ඉගෙන ගන්න සොයා යන්න පෙළැඹුණා. හැබැයි සමහරු හිතාගෙන හිටියෙ මම නිකම්ම නිකම් මල් සිංදුවල රඟපාලා ඉන්න කෙනෙක් කියලයි. ඒත් ඒවා මට ලැබුණු අවස්ථා විතරයි. එහෙම නැතුව බලනවා නම් මගේ සැබෑ ජීවිතය සහ කලාව මේ කතාබහ කළ දේට සමානයි.

මෝක්ෂ ඔබට දැනෙන්නෙ කොහොමද? 

කාලීන සමාජයේ තරුණයෙක්. සමාජයෙන් පිට සිට ඔහු සමාජයට සිදුවී ඇති දේ ගැන විපරමින් බලන කෙනෙක්. මිනිස්සු පිරිහිලා තියෙනවා, සමාජය පරිහානියට ලක්වෙලා. මේවා ඔහු දකිනවා. මිනිස්සු යාන්ත්‍රික වෙලා, ඉගෙන ගත්ත අයට ජොබ් නැහැ. ඒ සමාජ ස්වභාවය දැකලා, ඊට සාපේක්ෂව තරුණ පරපුරට පණිවුඩයක් දෙන්න උත්සාහ කරන තරුණයෙක්.

අද ධනුකට ජීවිතය දැනෙන්නෙ කොහොමද? ඉදිරියේදී ජීවිතය ගත කළ යුතු විදිය ගැන හිතන්නෙ කොහොමද? 

පරිසරයට අනුගතව ගත කළ යුතුය කියලයි මම හිතන්නෙ. එහෙම නොවුවොත් විනාශ වෙනවා. ජීවිතය කියන්නෙ ජීවත් කරවීමට වඩා එහා ගිය දෙයක්. කොයිහැටි වෙතත්, ජීවිතයේ හැමෝම සතුටින් සිටීම වැදගත්. ද්‍රව්‍යමය දේ පසුපස හඹා යමින්, මිනිස්සු වැඩි දෙනෙක් ජීවත් වෙන්නෙ තෘෂ්ණාවෙන්. ඒවා අවම වෙනවා නම් හොඳයි. ඒ නිසා ඒ රේස් එකට, තරගයට නොගිහින්, ජීවිතය වටහා ගැනීම හොඳයි. කලාවෙ මේ දක්වා මට ලැබෙන දේ කළා. මේ පවතින ලෝක රටාව, සමාජ රටාව එක්ක මිනිස්සු තරමක් දුරට පිරිහිලා. ඒ දිහා බලාගෙන මාත් ජීවත් වෙනවා.

ඔය වයසේ සමහර තරුණයින්ට තියෙන්නෙ සුපිරි මෝටර් රථයක් ගැනීම වගේ සිහින. ධනුකට ඒ වගේ සිහින නැද්ද? 

ලංකාව වගේ රටක බෙන්ස් එකක් හරි වෙනත් සුඛෝපභෝගී රථයක් මිලදී ගැනීමේදී සියයට තුන්සියයක විතර බද්දක් අය කරනවා. ඉතින් ඒ වගේ රටක බෙන්ස් එකක් ගන්නවාය කියන එකම මහා ගොන් අදහසක්. සල්ලි සාගරයක් තිබේ නම් විතරක් බෙන්ස් එකක් අරගෙන ඔළුවට බරක් නැතුව රෑට හොඳට නිදාගන්න පුළුවනි. ඒත් ලෝන්දාලා බෙන්ස් අරන් රෑට නිදහසේ නිදාගන්න බැහැනෙ. මම කොහොමටත් කොළඹ කොල්ලෙක් හින්දා මේවා මට මහ ලොකු මැජික් නෙවෙයි. යථාර්ථය ගත්තොත්, සියයට තුන්සියයක විතර ටැක්ස් ගහන රටක ණය නොවී කාර් එකක් ගන්නවා හැර ලෝන් දාලා අරගෙන ඇති වැඩක් නැහැ. ඒක ඔළුවට මහා බරක්. ධනුක කියන්නෙ ඉතාම සරලව, ජීවත් වන කොල්ලෙක්.

සඳුන් ගමගේ – සාරවිට වෙබ් අඩවිය. 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x