විශේෂාංග

දූරියන්වලින් අයිස්ක්‍රීම්, බනිස් හදන උඩරට මැණිකේ

‘‘දූරියන්වල තියෙන අමුතු සුවඳට ගොඩක් අය කැමති නැහැනේ. හැබැයි එහෙම අකමැති අයත් මම හදන නිෂ්පාදන නම් හරි ආසාවෙන් කනවා.’’

දූරියන් නොකන අයටත් දූරියන් කවන මේ පුංචි කෙල්ලව, නුවර හඟුරන්කෙත පාරේ නිතර යනෙන අයට නම් හොඳින් හුරුපුරුදුය. ඒ මේ පාරෙන් යනෙන අතරතුර ‘Durianzila’ වෙත ගොඩවැදීම ඒ බොහෝදෙනෙකුට පුරුද්දක් වී ඇති නිසාය.

මේ කියන්නට යන්නේ දූරියන්වලින් කරන නිෂ්පාදන රැසක් ප්‍රථම වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් සූරවීර තරුණියක් ගැනය. ඇය හිමාලි සුරවීර යි.

මහනුවර හේමමාලී බාලිකා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලද හිමාලිගේ ජීවිත කතාව මලින් පිරී ගිය සොඳුරු මඟකින් ඇරඹුණු එකක් නම් නොවේ.

‘‘අම්මයි, අයියයි, අක්කයි, මල්ලියි, මමයි තමයි මගේ පවුලේ ඉන්නේ. මට අවුරුදු පහක් වෙද්දී මගේ අප්පච්චි නැතිවෙලා. ඉතින් අපිට උගන්වන්න අපේ අම්මට ගොඩක් දුක් විඳින්න සිද්ධ වුණා.’’

කටු පිරි ඒ මඟ මලින් සරසන්නට ඇයගේ මව මෙන්ම වැඩිමල් සහෝදරයා සංජීව සුරවීර ද අප්‍රමාණ කැපකිරීම් කළ බව ඈ කියන්නීය.

‘‘මම උසස් පෙළ හැදෑරුවේ ජීවවිද්‍යා විෂය ධාරවෙන්. විභාගයෙන් පස්සේ මහනුවර තාක්ෂණ විද්‍යාලයෙන් ආහාර තාක්ෂණය ගැන ඩිප්ලෝමාවක් කළා. පස්සේ රත්මලාන වෘත්තීය තාක්ෂණ විද්‍යාලයෙන් තවදුරටත් ඒ ගැන ඉගෙනගත්තා.’’

හිමාලි දූරියන් ආශ්‍රිත පළමු සොයාගැනීම සිදුකරන්නේ රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරන කාලයේදීමය.

‘‘කැම්පස් එකෙන් කරන ප්‍රදර්ශනවලට ශිෂ්‍යයන් විදිහට අපි නව සොයාගැනීමක් ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් ඒ වෙනුවෙන් තමයි මුලින්ම මම දූරියන් වර්ණකය හැදුවේ. එතැනදී මට ඒ වර්ණය වෙනුවෙන් විශ්වවිද්‍යාලයෙන් සම්මානයක් පවා හිමිවුණා.’’

බො​හෝදෙනාගේ සිහින බොඳ කරමින් ලොවට කොවිඩ්-19 වසංගතය පැමිණෙන්නේ ඔය අතරය.

‘‘කොවිඩ් ආවට පස්සේ ලෙක්චර්ස් කළෙත් ඔන්ලයින්නේ. ඉතින් ගෙදරට වෙලා නිකන් කාලේ කන්න මට නම් හිත දුන්නෙම නැහැ. දූරියන්වලින් කරපු නව නිපැයුම ගැන හිතනකොට තමයි දූරියන්වලින්ම මේ වගේ තව අලුත් නිෂ්පාදන කරන්න පුළුවන් නේද කියන සංකල්පය මගේ ඔලුවට ආවේ.’’

‘සොයන්නාට සම්බ වේ’ යන කියමන සැබෑවක් කරමින් අමාරු, අපහසු කාලයක් මැද වුවද දියුණුවේ මාවතක් සොයාගත් ඇය කොරෝනාවේ අයහපතම දකින බොහෝදෙනාට හොඳ ආදර්ශයක් නොවේද?

‘‘මීට කලින් ලංකාවේ කිසිම කෙනෙක් නොකරපු දෙයක් කරන්න තමයි මට ඕන වුණේ. අනික පලතුරු ජාති කොයිතරම් තිබුණත් පලතුරු ලෝකේ රජ්ජුරුවෝ විදිහට හඳුන්වන්නේ දූරියන්. දූරියන්වල ඒ තරම්ම පෝෂණ ගුණයක් තියෙනවා. ඒ වගේම කිසිම කොටසක් අපතේ හරින්නේ නැතිව ප්‍රයෝජනයට ගන්න පුළුවන් පලතුරක් විදිහටත් මේ වටිනා පලතුර හඳුන්වන්න පුළුවන්. ඒ නිසා තමයි මම මේ වැඩේට දූරියන් තෝරාගත්තේ.’’

තන්තු බහුල ආහාරයක් නිසා දූරියන් මලබද්ධය, ගැස්ට්‍රයිටීස් වැනි රෝගවලට පවා ගුණ දෙන බව ඈ කියන්නීය. දූරියන්වල මේ සියලු ගුණ ඒ අයුරින්ම හිමාලිගේ නිෂ්පාදනවල අඩංගු වීම සුවිශේෂීම කාරණයයි.

‘‘දූරියන්වල තියෙන ගුණ ඒ විදිහටම අපේ හැම නිෂ්පාදනයකම තියෙනවා. කෘතිම රසකාරක, වර්ණකාරක වගේ දේවල් යොදන්නේ නැති නිසා ඕනම කෙනෙක්ට බය නැතිව මේවා කෑමට ගන්න පුළුවන්.’’

හිමාලිගේ නිෂ්පාදන ගොන්නේ ඇති මේ දූරියන් නිෂ්පාදන ද හරි අපූරුය.

‘‘අපි දූරියන් මදයෙන් අයිස්ක්‍රීම්, යෝගට්, මිල්ක්ෂේක් සහ බේකරි කෑම වර්ග හදනවා. දූරියන් බීජයේ ඉතා විශේෂ ගම් වර්ගයක් තියෙනවා. ඒක අපි දූරියන් ජෑම් එකටයි, යෝගට් එකටයි යොදනවා. ඒ වගේම දූරියන් බීජවලින් දූරියන් චිප්ස් හදනවා. ගොඩක් රසවත් නිසා ඒ චිප්ස්වලටත් හොඳ ඉල්ලුමක් තියෙනවා.’’

බොහෝදෙනා දූරියන් කට්ට සහ බීජ විසිකර දැමුවත් අලුත් ඇසකින් ලොව බලන ඇයට නම් ඒවා පෙනෙන්නේ කප්රුක් මෙනි. ඒ නිසා දූරියන් කටුවලින්ද ඇය පරිසර හිතකාමී මල්වාස්, මල්පෝච්චි, ටේබල් මැට් ආදිය නිෂ්පාදනය කරයි.

නමුත් මේ සියල්ල එක රැයින් සැබෑ වූ සිහින නොවන බව ඈ කියන්නීය.

‘‘මෙහෙම වැඩකට අතගහන්න තරම් මුදලක් මුලින්ම මගේ අතේ තිබුණේ නැහැ. බැංකු ණයක් අරගෙන තමයි වැඩේට අත ගැහුවේ. ඒ ලෝන් එකෙන් හඟුරන්කෙත පාරෙ අයිනේ පොඩි කඩ කෑල්ලක් කුලියට ගත්තා. පස්සේ දූරියන්වලින් යෝගට්, අයිස්ක්‍රීම්, ජෑම්, බේකරි කෑම ඇතුළු හැම නිෂ්පාදනයක්ම හැදුවා. මැෂින් ගන්න ලොකු මුදලක් නොතිබුණු නිසා අතින්ම තමයි ඒ හැමදේම හැදුවේ. තාක්ෂණික විශ්වවිද්‍යාලයේ කණිෂ්ඨ සහෝදරයෝ හයදෙනෙක් එක රුපියලක්වත් නොගෙන මට උදව් කළා. එදා වගේම අදටත් ඔවුන් මාත් එක්කම ඉන්නවා.

වැඩේ පටන්ගත්ත මුල් මාසෙම අපිට හොඳ සේල් එකක් තිබුණා. දූරියන්වල දුඟද නැති වෙන විදිහට මේ දේවල් සකස් කරන නිසා දූරියන් නොකන අය පවා අපිව හොයාගෙන එන්න පටන්ගත්තා.’’

ඒ නිසාම ඇයට හොඳ ප්‍රචාරණයක්ද ලැබී ඇත.

‘‘මේ වැඩේ වටිනාකම තේරුම්ගත්ත නෝනා කෙනෙක් මාව හොයාගෙන ඇවිල්ලා මට ලක්ෂ පහක මුදලක් දුන්නා. ඒ වගේම තවත් මහත්මයෙක් මට අයිස්ක්‍රීම් මැෂින් එකක් අරන් දුන්නා. ඒ දේවලුත් යොදවලා මම වැඩේ තවත් හොඳට කරන්න පටන්ගත්තා. හැබැයි යෝගට්, ජෑම්, මිල්ක්ෂේක්, බේකරි කෑම වගේ දේවල් නම් අදටත් හදන්නේ අතින්මයි. ඇණවුමක් ලැබුණම අදටත් රෑ එළිවෙනකල්ම අපි වැඩ කරනවා.’’

මීට වසරකට පෙර ආරම්භ කළ ඇගේ ව්‍යාපාරය අද වනවිට දිගු ගමනක් පැමිණ ඇති බව ඈ කියන්නේ නිහතමානීවය.

‘‘Durianzila නිෂ්පාදන මගේ ෂොප් එකේ අලෙවි කරනවට අමතරව මහනුවර සහ පේරාදෙණිය රෝහල්වල තියෙන සති පොළවල්වලටත් අරගෙන යනවා. ඒ රෝහල්වල වෛද්‍යවරුන් මේ නිෂ්පාදනවලට හරිම කැමතියි. ඒ වගේම ඔන්ලයින් තාක්ෂණය හරහාත් අපි මේ සියලු නිෂ්පාදන අලෙවි කරනවා. මේ වෙනකොට පිටරටින් පවා අපිට ඇණවුම් ලැබිලා තියෙනවා. හැබැයි තාක්ෂණික පහසුකම් නැති නිසා තවමත් විශාල සැපයුමක් ලබාදෙන්න අපහසුයි.’’

ගුණාත්මකබවින් ඉහළ මේ නිෂ්පාදනවලට මෙතරම් ඉල්ලුමක් ඇතිවීම පුදුමයට කරුණක් නොවේ. ඒ නිසාම මේ නිෂ්පාදනවලට රාජ්‍ය සම්මාන පවා ලැබී ඇත.

‘‘පෞද්ගලික ආයතන ද්විත්වයක එකතුවෙන් පවත්වන වනිතා අභිමානී සම්මාන උළෙලේ නැගී එන ව්‍යවසායකයා තරඟයේ තුන්වෙන ස්ථානය ලබාගන්න අපිට පුළුවන් වුණා. ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ බිස් මයින්ඩ් තරඟයේ දෙවන ස්ථානයත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආහාර තාක්ෂණ තරඟයේ ප්‍රථම ස්ථානයත් අපි දිනාගත්තා. ඒ වගේම ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශය මගින් පවත්වන කෘෂි කර්මාන්තය ආශ්‍රිතව නිෂ්පාදන තරගෙනුත් ජාතික මට්ටමේ ජයග්‍රහණ දෙකක් අත් කරගන්න ‘Durianzila’ අපිට පුළුවන් වුණා.

ඒ වගේම මේ වැඩේට මට උදව් කරන මගේ කණිෂ්ඨ සහෝදරයන්වත්, මගේ පවුලේ අයවත් මම ආදරෙන් මතක් කරනවා. මහනුවර තාක්ෂණ විද්‍යාලයේ සහ රත්මලාන වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යලයේ ආචාර්යවරුන්, සහෝදර සහොදරියන් සහ පාත හේවාහැට ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ කුඩා සංවර්ධන අංශය සහ මධ්‍යම පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුවෙනුත් මට මේ වැඩේට විශාල සහයක් ලැබුණා.’’

ඉදිරියේදී ශ්‍රී ලංකාවේ සෑම නගරයකම පාහේ ‘Durianzila’ වෙළෙඳසැල් ස්ථාපිත කිරීම ඇයගේ ඊළඟ අරමුණය. එමෙන්ම නුදුරේම මහනුවර නගරයේ ඔවුන්ගේ නවතම ශාඛාවක් විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ඈ කීවේ සතුටු සිතින්ය. මේ දූරියන් නිෂ්පාදන ලොව පුරා අපනයනය කිරීමටද ඈ සිහින දකින්නීය.

‘‘සාධාරණ වැටුපකට, මානසික සුවයෙන් මිනිස්සුන්ට වැඩ කරන්න පුළුවන් රැකියා අවස්ථා තුන් හාරසීයක්වත් උදාකරලා අපේ ලංකාවේ නම ජාත්‍යන්තරේට අරන් යන එක තමයි මගේ එකම අරමුණ.’’

අප ඇය හා සංවාදය නිමා කළේ ඒ අරමුණට අපේ සුභාසිංෂණද එක්කරමිනි.

සෙව්වන්දි හෙට්ටිආරච්චි – ධරණී පුවත්පත 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x