විශේෂාංග

යොහානිගේ සිතුවම දැකලා ඉන්දියාවේ ඉන්න ගොඩක් අය අපිට කතා කරා

රුවන්පුරය මැණික්වලින් ලෝකයම බබලවන නගරයකි. රත්නපුරයට එම නම නිර්මාණය වන්නේත් අධික ලෙස මැණික් පාෂාණ තිබීම හේතුවෙනි. මැණික් පැළඳීම, මැණික් ආභරණ නිර්මාණයට වගේම ලෝකයේ බොහෝ පොහොසත් රටවල් මැණික්වලින් විවිධ නිෂ්පාදන පවා නිර්මාණය සිදු කරයි. මැණික් භාවිතායෙන් ඡායාරූප සිතුවමට නගන තරුණයෙක් අපට හමුවන්නේ මේ අතරතුරයි. ඔහු නමින් මනුජය කවීෂ.

මනුජය අපට හමුවන්නේ ඔහු විසින් නිර්මාණය කළ ලොවක් ආදරය කරන යොහානි ද සිල්වාගේ ඡායාරූපයක් මැණික්වලින් නිම කිරීමත් සමගයි. මනුජයගේ මාපියන් මැණික් ව්‍යාපාරිකයින් වන අතර ඔවුන්ද මැණික් ආශ්‍රිත නිර්මාණවල යෙදෙයි.

“අපේ පවුලම මැණික් ව්‍යාපාර කරන්නේ.මගේ පාසල ඇහැළියගොඩ ධර්මපාල ජාතික විද්‍යාලය. මම පාසැල් කාලේදි තමයි මුලින්ම මැණික් සිතුවම්කරණයට පිවිසෙන්නේ. ජාතික ශිල්ප සභාව සංවිධානය කරපු ‘ශිල්ප නවෝදා – 2019’ තරඟාවලියට තමයි මුලින්ම සිතුවමක් එක් කරන්නේ.

එකේදි මට පලමු දෙවන තෙවන ස්ථාන තුනම ජයග්‍රහණය කරන්න හැකි වුණා. ඊටපස්සේ සමස්ත ලංකා ජයග්‍රහණත් මම ලබාගෙන තිබෙනවා. අපේ පවුලම මැණික් ව්‍යාපාර කරන්නේ. අපේම ආයතනයකුත් තිබෙනවා. ඒ නිසා මැණික් ආශ්‍රිත නිර්මාණ කරන්න ලොකු ආසාවක් තිබුණා. ඒ නිසා තමයි ඒ තරඟවලටත් මම ඉදිරිපත් වුණේ. මම මැණික් සිතුවම් තමයි මුලින්ම කරන්න පටන්ගන්නේ. දැන් මැණික් පිලිස්සීම, මැණික් කැපීම වගේම මැණික් ව්‍යාපාරවලටත් සම්බන්ධ වෙලා තිබෙනවා.”

 

ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වාගේ ඡායාරූපයක් මැණික්වලින් නිම කිරීම නිසා වඩාත් කතාබහට ලක් වූ බව අප ඉහතදී පැවසුවෙමු. ඒ පිළිබඳව අප මනුජයගෙන් විමසූවිට ඔහු පැවසුවේ මෙවැන්නකි.

“ඔව්. යොහානිගේ සිතුවම සමාජ මාධ්‍ය තුළ ගොඩක්ම ජනප්‍රිය වුණා. යොහානි කියන්නේ මම කැමතිම ගායිකාව. ඒ වගේම යොහානි ලෝකේ වටේම ජනප්‍රිය වෙලා අපේ රට බබලවනවා. යොහානි අපේ රටට මැණිකක්. ඒ නිසා ඇයව මැණික්වලින් හදන්න හිතුණා.”

යොහානිගෙන්සිතුවමට ප්‍රතිචාරයක් ලැබුණාද? 

“තවම නැහැ. යොහානි මේ දවස්වල කාර්යබහුලයිනේ. අපිට ඇයව තවම සම්බන්ධ කරගන්න බැරි වුණා. ඉදිරියේදී සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. යොහානිගේ සිතුවම දැකලා ඉන්දියාවේ ඉන්න ගොඩක් අය අපිට කතා කරා.”

 

මැණික් ගල්වලින් සිතුවමක් නිර්මාණය කිරීම ඉතා අපහසු කටයුත්තකි. එම කාර්යය පිළිබඳව මනුජය මෙලෙස අදහස් දැක්වීය.

“අපි මැණික්වලින්සිතුවමක් නිර්මාණය කරද්දි මුලින්ම ඒ ඡායාරූපය ස්කෑන් කරලා අපිට අවශ්‍ය විදිහට ඇඳගන්නවා. සාමාන්‍ය ඡායාරූපයයි මැණික් සිතුවමයි අතරේ ලොකු වෙනසක් තිබෙනවා. පැන්සලකින් අඳිනවාට වඩා මැණික් ගලෙන් නිර්මාණය කරන්න හරි අමාරුයි. අපි ස්කෑන් කරලා ඇඳලා ගන්න ඡායාරූපය උඩ තමයි මැණික් ගල් අල්ලන්නේ. ඊටපස්සේ සිතුවමට අවශ්‍ය වර්ණ අනුව මැණික් ගල් තෝරාගන්නවා. ඊටපස්සේ ඒ මැණික් ගල් අපි එක එක ප්‍රමාණයට කැබලි කරගන්නවා. ඉන්පසුව තමයි අපි ස්කෑන් කරලා ඇඳගත්තු කටුසටහන උඩ මැණික් ගල් අලවන්නේ.”

“මෙහිදී අපි ගල්වල තිබෙන ස්වභාවික වර්ණයට කිසිම හානියක් කරන්නේ නැහැ. මැණික් පාට කිරීම වගේ දේවල් කරන්නේ නැහැ. සිතුවමේ තිබෙන වර්ණ සහ මැණික් සිතුවමක තිබෙන වර්ණ අතරේ පොඩි වෙනසක් තිබෙනවා. උදාහරණයක් විදිහට අපිට දම් පාට අවශ්‍ය නම් දම් පාට මැණික් වර්ග කිහිපයක් තිබෙනවා.

අපිට සිතුවමට ඕනේම පාට නැති වෙන්න පුළුවන්. එතකොට ගලේ තිබෙන වර්ණය තමයි යොදාගන්න වෙන්නේ.මැණික් ගැන තියෙන දැනුම, චිත්‍ර අඳින්න තිබෙන හැකියාව, ඉවසීම, සියුම් වැඩ කරන්න පුළුවන් වීම වැනි ගොඩක් දේවල් මේ කලාවේදි අවශ්‍ය වෙනවා.”

මනුජයගේ මාපියන් මැණික් ව්‍යාපාරයේ නියැලෙන අතර ඔවුන්ද ව්‍යාපාරික වශයෙන් මැණික් සිතුවම්කරණයෙහි යෙදෙයි. ඒ අත්දැකීම් සහ ඒ නිර්මාණ දෙස බලා හිඳීමෙන් තමන්ට මැණික් ආශ්‍රිත නිර්මාණ සඳහා විශාල දැනුමක් එකතු වූ බව මනුජය පවසයි.

 

“අපේ ආයතනයක් විදිහටත් මැණික් සිතුවම්කරණය සිදු වනවා. ඒකේදි මැණික් සිතුවම් ශිල්පීන් අපිට ඉන්නවා. ඊට අමතරව මම තනිවම නිර්මාණකරණයේ යෙදෙනවා. තනියෙන් කරන නිර්මාණවලටත් වැඩ කරන අයගේ සහයක් ලැබෙනවා.පාරිභෝගිකයාගේ අතේ තිබෙන මුදලට අනුව අපි සිතුවම් හදලා දෙනවා. අපේ ව්‍යාපාර කටයුතු හැම එකක්ම මැණික්වලට සම්බන්ධයිනේ. ඉතින් මමත් අනාගතයේදී මැණික් ආශ්‍රිත පැත්තෙන් තමයි ඉස්සරහට යන්නේ.”

යොහානි ද සිල්වාගේ ඡායාරූපය වගේම ජනප්‍රිය පුද්ගලයන් රැසකගේ ඡායාරූප මනුජය මැණික්වලින් සිතුවම් කර තිබේ.

“ජනප්‍රිය චරිත රැසකගේ ඡායාරූප අපි මැණික්වලින් නිම කරලා තිබෙනවා. ජනාධිපතිවරු, මැති ඇමතිවරු, ගායක ගායිකාවන්ගේ, නළු නිළියන්ගේ ඡායාරූප අපි හදලා තිබෙනවා. දලයි ලාමා තුමන්ගේ ඡායාරූපයකුත් මැණික්වලින් අපි සිතුවම් කළා. ඒක අපේ හිතවතෙකුගේ මාර්ගයෙන් එතුමන්ගේ අතටම ලැබෙන්න සලස්වන්නත් අපිට හැකි වුණා. පිටරට අයගෙනුත් අපිට ඇනවුම් ලැබෙනවා.”

මැණික් අලෙවි කිරීම, මැණික් ආශ්‍රිතයෙන් ආභරණ නිෂ්පාදනයට ලංකාවේ විශාල ස්ථානයක් හිමිවුවද මැණික් භාවිතයෙන් සිතුවම් නිර්මාණය කිරීමට වෙළඳපොළක් නිර්මාණය වී ඇත්දැයි අප මනුජයගෙන් අවසාන වශයෙන් විමසුවෙමු. එහිදී ඔහු පිළිතුරු දුන්නේ මෙලෙසිනි.

“මැණික් සිතුවම් වැටෙන්නේ මැණික් සහ මැණික් ආශ්‍රිත නිෂ්පාදන කියන කාණ්ඩයට. මැණික් සිතුවම්වලට දැන් වෙළඳපොළ හැදිලා තිබෙනවා. ලංකාවේ ඇතුලේ වගේම විදේශ වෙළඳපොළටත් අපිට මේ සිතුවම් යවන්න පුළුවන්. අපි දැනටත් යවනවා. මේ හරහා ලංකාවට විදේශ විනිමය ලංකාවට ගේන්න පුළුවන්. අපි චීනයට ගොඩක් සිතුවම් යවලත් තිබෙනවා. මේ හරහා ලංකාවට ලොකු විදේශ විනිමයක් ගේන්න තමයි මගේත් අපේ ආයතනයේත් බලාපොරොත්තුව. ඒ වගේම මේක නිසා අපිට Made in Sri Lanka කියන සන්නාමයත් ජාත්‍යන්තරයට ගෙනයන්න පුළුවන්.”

කැළුම් දේවින්ද – සාරවිට වෙබ් අඩවිය. 

Related Articles

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x