තරු කතා

ආදරේ කරන්න ගත්තොත් මම බොළඳ කෙල්ලක් වේවි

පසුගිය කාලයේදී පුංචි තිරයේ වැඩිය පෙනෙන්නට හිටියෙ නැති ‘දිනිති වල්ගමගේ’ මේ දිනවල ආයෙත් ආලින්දයට ඇවිත්. ඒ විකාශය කෙරෙන කොළඹ ඉතාලියේ චරිතයක් සමගයි. ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ කොළඹ ඉතාලියේ ඇය රගපාන්නෙ ‘හංසි’ යන චරිතයයි. ඊට අමතරව සංජය නිර්මාල්ගේ BTS (Behind the stage) නාට්‍යයේ රූගතකිරීම්වලට දායක වන දිනිති නාලක විතානගේ අධ්‍යක්‍ෂණය කරන ‘ෂැඩෝ’ නාට්‍යයේ චරිතයක් ද රඟපාන අතරේ කාලයකට පසුව සැඳැල්ල කතා බහකට එක්වුණේ මේ විදියටයි.

දිනිති කොහොමද මේ දිනවල ගෙවන ජීවිතය? 

හරිම කාර්ය බහුලයි.

ඔච්චරටම කාර්ය බහුල වුණේ? 

කොළඹ ඉතාලියේ, ෂැඩෝ, සහ BTS ඩ්‍රාමාවල රඟපෑමට අමතරව ‘BTS’ නාට්‍යයේ පිටපත ලියන්නෙත් මමයි. ඒ වෙනුවෙන් මගේ යාළුවකු වන දුෂි අමරසිංහ සම්බන්ධ වෙනවා. ඉතින් මේ වැඩ නිසා කාර්ය බහුලයි.

රඟපාමින් නිවේදනය කරමින් හිටපු දිනිති නාට්‍ය පිටපත් රචිකාවියක වුණේ පළමු වතාවටද? නාට්‍ය ලියන්න පටන් ගෙන මේ පළමු අවස්ථාවද? 

ඔව්. නාට්‍යයක තිරපිටපත ලියන පළමු අවස්ථාව මෙයයි. දුෂි සහ මම එකතුවෙලා මේ පිටපත ලියන්න පටන් ගන්නෙ පසුගිය කෝවිඩ් කාලයේ වෙච්ච සිදුවීම් සහ පුද්ගලිකව අපි මුහුණදුන් සිදුවීම් මේ තිර පිටපතට ඇතුළත්. අපේ එදිනෙදා ජීවිතේ මුහුණදුන් සිදුවීම්, සුන්දර අවස්ථා මේ සියල්ල අපි මේ කතාවට ගලපාගෙන තියෙනවා. ඒ ඔක්කෝම එකතු කරලා පිටපතක් ලියන්න හිතුවා. සංජය නිර්මාල් පිටපතට කැමති වුණා. අපි මේක නිෂ්පාදනයටත් හවුල් වුනේ.

මේ දිනවල සුපුරුදු විදිහට ගුවන් සේවයේ වෘත්තීය කටයුතු කොහොමද? 

මේවැඩ එක්ක මේ දිනවල නම් වෘත්තීය ජීවිතේදී නෝ- පේ යන්නෙ කිව්වොත් හරි. මොකද මම මේ වැඩ නිසා එච්චරටම නිවාඩු අරගෙන. කොහොමටත් පසුගිය කාලයේදි කෝවිඩ් තත්ත්වය නිසා එතරම්ම ගුවන් ගමන් තිබුණෙත් නැහැ.

රඟපෑමට අමතරව දිනිති අද වැඩිපුරම කැමති මොනවටද? 

ලියන්න ඒකට මම හරිම ආසයි. කොහොමටත් ඒ ආසාව ආසාව ඇතිවුණේ අද ඊයෙක නෙවෙයි. පොඩි කාලයේ ඉඳලම මට ලියන්න ආසා කළා.

මොනවා ගැනද ලියන්න ආස? 

එහෙමම කියලා නැහැ. සමහර විට බොහෝ දෙනා බාහිරව මගේ ජීවිතය දිහා බලලා ප්‍රශ්න නැති කෙනෙක් කියලා හිතන්න පුළුවනි. එත් හැමෝටම වගේ මටත් ප්‍රශ්න තියෙන්න පුළුවන්. එත් ඒවා බාහිරව නොපෙනෙන්නෙ. මම ඒවා ලියලා තියෙන නිසා වෙන්න ඇති. එතකොට හිත නිදහස්නෙ. එහෙම වුණාම ජීවිතය සැහැල්ලුයි.

ප්‍රේමය, ආදරය, හාස්‍ය, ජීවිතය, මේ අතරින් ලියන්නට වැඩිපුර හිත යන්නේ? 

මේ සියල්ල සමග වූ මගේ ජිවිතේ අත්දැකීම්වලට ආසයි. මම හිතන විදියට ජිවිතේ බොහෝ අත්දැකීම් මට තියෙනවා. ඒ වගේම මම හොඳ සවන් දෙන්නෙක්. බොහෝ දෙනෙකුට ඇහුම්කන් දෙන්න මම කැමතියි. සේවය කරද්දි මිනිස්සු දහසක් විතර එක්ක වෙලාවකට කටයුතු කරන්න ලැබෙනවා. ඒ හැමෝම කියන දේ අහන් ඉන්න තරම් මම ඉවසිලිවන්තයි. ඒ වගේම විසඳුම් ලබා දෙන්නත් කැමතියි. ඒ නිසා මගේ ජීවිතයේ මගේ මතක මනසේ කතාන්දර ගොඩාක් තියෙනවා.

දිනිති ප්‍රකාශ කල අදහස්වලට දිනිතිට පෙරලා ලැබුණු ප්‍රතිචාර මොන වගේද? 

පසුගිය දිනවල මම සමාජ මාධ්‍යන්ගේ සාකච්ඡා වලට පෙනි සිටියා. එහිදි අදහස් ප්‍රකාශ කළේ හරිම විවෘතව සහ සෘජුවයි. ඒ කතා කළ දේ ගැන හරි විදියට සහ වැරදි විදියට හිතපු දෙපාර්ශවයෙන් ලැබුණු ප්‍රතිචාර බොහොමයි. එහිදි මම තේරුම් ගත්ත දේ නම් ගැහැණු ළමුන්ට මේ සමාජයේ බොහෝ ප්‍රශ්න තියෙනවා. ඒ ගැන එයාලට කියන්නත් පුළුවනි. හැබැයි ඒවා ප්‍රකාශ කරන්න වේදිකාවක් නැහැ කියන එක.

ලස්සන, හැකියාව, බුද්ධිය කියන මාතෘකා ගත්තොත් ඒ අතරින් ‘දිනිති’ ඉදිරියෙන් සිටින්නෙ? 

ලස්සන කියන මාතෘකාව ගත්තොත් මම ලස්සන කෙල්ලෙක් නෙවෙයි. ඒ කාලයේදී අවුරුදු කුමාරි තරගයකට තේරිලා යන්න හැදුවාම අපේ අම්මා මට කිව්වේ අපෝ ඕවාට යන්න ඕනෑ ලස්සන අයයි. ඒ හන්දා ඕවාට ගිහින් ලැජ්ජා වෙන්න එපා කිව්වා. එදා ඉඳලා මම හිතුවේ මම ලස්සන කෙනෙක් නෙවෙයි කියලයි.

ලස්සන නැති වුණාට මම හරි බුද්ධිමත් කියලා කියන්න පුළුවනි. ඒ වගේම අදහස් ප්‍රකාශ කිරීමේදී මට හොද කටක් තියෙන බවත් මම දන්නවා. මම අදහස් ප්‍රකාශ කරන්න බය නැහැ.

ඒ හොඳටද? නරකටද? 

අදාල දේ අදාල තැනදී මුණටම කියන්න ඕනෑ. අදාල දේ අදාල තැනදි නොකියා ගෙදර ගිහින් ඒ ගැන හිතලා දුක්වෙන්න ඕනෑ නැහැනේ.

ඒ කියන්නේ ‘දිනිති’ පසුවට පසුතැවිලි වෙන්න වැඩ කරන කෙනෙක් නෙවෙයි.? 

කොහෙත්ම නැහැ. අද කළ යුතු දේ අද කිව යුතු දේ ඒ මොහොතේම කියන කරන කෙනෙක්.

ආදරය ප්‍රේමය දිනිති ප්‍රකාශ කිරිමේදිත් පෙරලා දිනිතිට ආදරය ප්‍රකාශ විමෙදිත් ඒ ප්‍රතිපත්තිටමද අනුගමනය කරන්නෙ? 

ඔව් කෙලින්ම මුණටම තියන කෙනෙක්. May be, නැත්නම් බලමු විය හැකියි. කියන දේ මා ළඟ නැහැ. මගේ තියෙන්නෙ Yes or No (ඔව් හෝ නැහැ) හා හෝ බැහැ කියන එක විතරයි. කරන්න පුළුවන් නම් පුළුවන් බැරි නම් බැහැ.

එහෙම නම් දිනිතිගෙ Yes (යස්) වෙච්ච ප්‍රේමය ගැන කියමු.?  

තවම යස් (Yes) වෙලා නැහැ. අන්න ඒකයි ප්‍රශ්නය. ඒ නිසා ඒ ගැන කියන්න දෙයක් තවම නැහැ.

මේතාක් ගෙවු ජිවිතයේදී දිනිතිට අපේක්‍ෂා කළ අරමුණ කරා යන්න පුළුවන් වුණාය කියලා හිතනවද? 

ඔව්. ගෙවු ජීවිතය ගැන මම තෘප්තිමත්. කොහොමටත් ජීවිතයේ මම ලද දෙයින් සතුටු වන කෙනෙක්. ඒ නිසා අතෘප්තිකර නැහැ. ඒ වගේම ලැබෙන දේ කරන දේ උපරිම කැපවීමෙන් කරන කෙනෙක් ජීවිතේ සතුටු වෙන්න කියලා මහා වස්තු කන්දරාවක් තිබිය යුතුය කියලා හිතන කෙනෙක් නෙවෙයි. මම තව කෙනෙක් වගේ වෙන්න ඕනැය කියන තරගයක් මට නැහැ. මම යන්න ඕනෑ තැන මම දන්නවා. හැබැයි. එහෙමයි කියලා මගේ අරමුණින් පිට පැනලා යන්න කැමති නැහැ.

මතුපිටින් දකින පෙනෙන දිනිතිට වඩා ඇතුළාන්තයෙන් තරමක් ටෆ් (Tough) චරිතයක් වගෙයි.? 

ඔව්. මට ටිකක් Tough (ටෆ්) චරිතයක්.

ප්‍රේමයක ඇලී ගැලී වෙලි නොසිට කාලය ගෙවීම අපරාදේ කියලා හිතෙන්නේ නැද්ද? 

කිසිම අපරාදයක් නැහැ. මොකද මට කරන්න වැඩ ගොඩාක් තියෙනවා. උපරිම බිසි වෙලා ඉන්නෙ. ඒ කරන වැඩවලට උපරිම සාධාරණය කැපවීම කරන්නට ඕනෑ. මොකද ‘ආදරය’ කරන්න පටන් ගත්තොත් ඒකට කාලය වෙන්කරන්න බැරි නම් ඒක ආදරයක් නෙවෙයි. අනෙක ආදරේ කරන්න ගත්තොත් මම හරි බොළඳ වෙනවා.

ඒ කියන්නේ පිස්සෙක් වගේ ආදරේ කරන්නෙ? 

ඔව් හරි ආදරේට මම හරි ආදරෙයි. ඒ තරමටම ආදරේදි මම අවංකයි. මගේ ලෝකයේ තියෙන්නේ හරිම ෆැන්ටසි ලව් එකක්. ඒ වගේ කෙනෙක් හමු වුණාම මගේ ලව් ස්ටොරි එක ගලා යාවි.

සඳුන් ගමගේ – සාරවිට වෙබ් අඩවිය

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x