පුවත්

මූඩිය ඇරලා බලමුද ජාඩිය ගැන විස්තර

කන්න කියලා මාළු ටිකක් උයාගන්න අපි මාළු ගන්නේ කොහෙන්ද? අහන්නත් දෙයක්ද අපි මාළු ගන්නේ ෆිජ් එකෙන්නේ.. බොහෝවිට අපි මාළු ගෙනල්ලා ශීතකරණයක බහා තිබෙනවා. ඒ ගෙදර තියෙන ෆ්‍රිජ් එකටත් මාළු එන්නේ ඒ වගේම ශීත කරපු තැනක ඉදලා. මේ විදියට හිතුවොත් මාළුවා මැරෙන මොහොතේ සිට ඌ ජීවත් වන්නේ ශීතකළ වටපිටාවක. මේ ශිත කිරීමේ පහසුව එන්නේ ඉතාම මෑතකදී එතකොට කොහොමද ඉස්සර කාලේ මාළු කෑවේ.

1. ඉස්සර මාළු කෑව ක්‍රම

අපේ රටවල මිනිස්සු අතර කරවල භාවිතය ප්‍රසිද්ධයි. යහමින් ලුණු දමා වේලන කරවල කූරියෙකු දුමේ දාගෙන කෑල්ල කෑල්ල කපාගෙන කාලෙයක් තිස්සේ පැරැන්නන් සිය ආහාරවේලට ලුනු මාළු එකතු කරගත්තා. කරවල වලට වඩා උම්බලකඩ ටිකක් තදයි. උම්බලකඩ හදන්නේ උණුදියේ දාපු අමු මාළු වේලා ගැනිමෙන්. උම්බලකඩ තරමක් හපන්න අපහසු වුවත් අමාරුවෙන් හරි හපාගත්තොත් හොඳ උම්බලකඩ කැල්ලක් හොඳ බයිට් එකක් විදියටත් සලකන්න පුලුවනි. ඒත් ඉතිං එතකොට අද කාලේ වගේ ඒ කාලේ මිනිස්සුන්ට මාළු අමුවෙන්ම වගේ කන්න ක්‍රමයක් තිබුණේ ම නැද්ද? සත්‍ය වශයෙන්ම නැහැ. ඒත් ලුණු දාලා සීල් කරලා කල්තබාගන්න ජාඩි ක්‍රමයෙන් අමු මාළු වල අමු ගතියත් එක්ක ම කලක් තබාගන්නට හැකි වුණා. ඒත් ඉතිං ලුණු ගොරකා අල්ලපු වෙනස් රසයකට නැඹුරු වුණු ජාඩි අද කාලේ ෆිජ් එකෙන් එලියට ගත්ත මාළුවෙක් තරම්ම නැවුම්වට තිබෙනවා යැයි හඳුන්වන්නට බැහැ.

 

2. ලංකාවේ ජාඩි සෑදීමේ ක්‍රමය 

සාමාන්‍ය තත්වයන්ට නිරාවරණය වීමේදී සිදුවන මස් නරක්වීමේ ක්‍රියාවලිය නැවැත්වීම පිණිස ලුණු ගොරකා සමග මිශ්‍ර කොට වාතය මුසු නොවන ආකාරයට තබාගැනිමෙන් ජාඩි තනා ගනී. මෙහිදි ලුණු භාවිතා කොට මාළු කල්තබාගැනීම ලොව වටා භාවිතා වුවද ගොරකා භාවිතය අපිටම ආවේණික ක්‍රමයකි.

නිවසේ දී ජාඩි සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය :

පිරිසිදු කරගත් හොඳින් සීල් වන ජෑම් බෝතලයක් හෝ එවැනි කට පළල් වීදුරු බෝතලයක්
හොඳින් පිරිසිදු කරගත් අලුත් මාළු
ලුණු
ගොරකා
මාළු සුද්දකර බඩ කොටස් ඉවත් කර සාමාන්‍ය තරමේ කැබලි වලට කපාගන්න. දැන් පිරිසිදුකර වියළා ගත් බෝතලයේ අඩියට ලුණු සහ ගොරකා ටිකක් අඩිය වැසෙන සේ දමන්න. ඉන් අනතුරුව ලුණු මිශ්‍රකරන ලද වතුරේ විනාඩි කිහිපයක් තබා ඉවත්කරගත් මාළු තට්ටුවක් දමන්න. අඟලක් දෙකක් පමණ මාළු තට්ටුව වැටුණු පසු නැවත ලුණු ගොරකා තට්ටුවක් දමන්න. මෙසේ මේ ක්‍රියාවලිය අවසන්වූ පසු බෝතලයේ කට වසා මාසයකින් පමණ පසු රැගෙන ජාඩි මාළු පිස ආහාරයට ගත හැකිය. ලුණු ගොරකා පදමට වැටුණ ජාඩි මාළු ප්‍රණීත රසකින් යුක්තයැයි ද ඇතැමෙක් කියති.

 

3. මහා පරිමාණ ජාඩි කර්මාන්තය

මීට වසර 30-40කට ප්‍රථම අපේ දොඩන්දූව බලපිටිය දිහාවේ ඇත්තෝ ඉන්දියාවේ තූත්තුකඩි ආදී දකුණු ඉන්දීය වරායවන් වලට ගොස් ඒවායෙන් මිලදී ගත් මාළු භාවිතා කර ජාඩි තැනුවෝය. ඔවුහු ජාඩි තනන්නේ අපි මේ ගෙදර ජෑම් බෝතලවල ජාඩි තනනාවාක් මෙන් කුඩාවට නොවේ. සූරපප්පා කතාවේ තිබූ වැනි විශාල ජාඩි පීප්ප තැනීමට වඩුවෝද රැගෙන අපේ දොඩන්දූව දිහාවේ දකුණේ ඇත්තෝ මිනිස්සු 20-30 ඇතුලත් රුවල් නැව් වලින් දකුණු ඉන්දියාව කරා යති.

එහි ගොස් වාඩි ලාගෙන එහිදී මාළු මිලට ගෙන සුද්ද කර මහා පරිමාණයෙන් ජාඩි දමති. ලුණු දමති ගොරකා අහුරු ගනන් දමති. ඒවා ටැංකිවල එක්රැස් කරති.ටැංකිවල මසක් පමණ තිබූ ලුණු ගොරකා මිශ්‍ර මාළු නැවතත් පීප්ප වලට අසුරනු ලැබේ. අයෙක් පීප්පයට බැස මාළු ටික හොඳට තලති. තවත් අය පීප්ප වලට දැමීම පිණිස මාළු වල ලුණු ගොරකා තවරති. මෙවැනි ක්‍රියාදමයකින් පසුව පීප්ප 50-60 පටවාගත් රුවල් නැව් ලංකාවට සේන්දු වේ. අද කාලයේ මෙන් ඉක්මන් ප්‍රවාහනය නොතිබුණු 1900 මුල් කාලයේ මෙම පීප්ප කරත්ත වල සෙමෙන් සෙමෙන් ගොස් ලංකාවේ හතරදිග් බාගයේ වෙළඳපොල ආසන්නයේ අලෙවි වේ. කොළඹ දිහාවේ නම් මෙලෙස ජාඩි යහමින් අලෙවි වූ තැනකි තොටළඟ වෙළඳපොල. වර්තමානයේද තොටළඟ කරවල කඩ කිහිපයක් තිබෙන්නේ ඒ එදා ජාඩි වෙළඳසැල්වල ආභාෂය නිසා විය යුතුය.

 

4. ජාඩියට මූඩිය

මෙලෙස ජාඩි පීප්පයේ කටෙහි වූ පියන වැසිම වැදගත් කාර්යයකි. ජාඩි කුමන ක්‍රමයකට තැනුවත් මූඩිය ගැසුවේ නැතිනම් මාළු කල්තබන වැඩේ හරියට සිද්ධ වන්නේ නැත. පසුකාලීනව ලංකාවේ ඇතැම් තැනක ජාඩි තැනීමේදී ඒවා පණුවන් ගැසී නරක් වීමට මෙම මූඩි හරියට නොගසා ජාඩි තැනීමට යෑම හේතු විය.

 

5. ජාඩි සහ ජාඩි වතුර 

ගොරකා ලුණු වතුර සමග මිශ්‍ර වූ මාළු සාරය ඇතුලත් ජාඩි පීප්පවල ඇතුලේ වූ ලුනිජ්ජ එකල ප්‍රකට රසකාරකයක් විය. අද කොත්තු රයිස් කඩවල ඒවා රසකිරීමට දමන අජිනමොටෝ (මොනොසෝඩියම් ග්ලූටමේට් අඩංගු) සෝයා සෝස් වැනි ප්‍රබල රසකාරකයක් ලෙස එදා ලුනිජ්ජ භාවිතා විය. ජාඩි පීප්පයක වූ ලුණු බෝල්ලන් සීයක්ම (කිලෝ 10කටත් වැඩි) රු 1.50ක් වූ එකල මේ ලුනිජ්ජ බෝතලයක් ශත 50ක් තරම් මිල අධික විය. එනම් කට්ට සම්බෝලය, පොල්සම්බෝලය, මැල්ලුම රසවත් කල ජාඩි ලුනිජ්ජ බෝතලයේ රස එකල ජනයා අතර ජනප්‍රිය එකක් වන්නට ඇත.

6. ජාඩි අද තතු

අද ද දකුණු වෙරළබඩ තීරයේ ජාඩි කලාතුරකින් තැනක දකින්නට ලැබේ. ක්‍රමවේදයක් ලෙස සම්පූර්ණයෙන් කෂුද්‍ර ජීවින් මුසු නොවන ආකාරයට සිදුරන පූර්ණ කල්තබාගැනීමේ ක්‍රමවේදයක් ලෙස ජාඩි හැඳින්විය නොහේ. එහෙත් වෙනමම රසයක් වෙනමම ආහාර රටාවක් සමගින් වූ මෙම මසුන් පදම් කොට කල්තබාගැනීමේ ක්‍රමවේදය දශක ගණනාවක් තුල අපේ රටේ ජනයාගේ දොරින් දොරට මුහුදු මාළු සැපයීමට මහඟු කාර්යයක් සිදුකරන ලදි. පසුකලෙක බදු එකතුවීම, යුද්ධ කල කෝලාහල ආදිය නිසා ඉන්දියාවට ගොස් ජාඩි තැනීම සම්පූර්ණයෙන් නතර විය. එහෙත් තවමත් දොඩන්දූවේ , බලපිටියේ, මොරටුවේ තැන් තැන්වල තැනූ ජාඩි මිලදී ගැනීමට හැකියාව තිබේ.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x