විශේෂාංග

මගේ රෝගය නිසා ගෙදරින් පිට යනවට අම්මයි තාත්තයි කැමති වුණේ නැහැ

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නාම ලේඛනයේ නමකට පමණක් සීමා වූ ක්‍රීඩා රැසක් වෙයි. ඉන් බහුතරයක් කාන්තාවන් සහභාගිත්වයක් දරන ක්‍රීඩාය. එවැනි ක්‍රීඩා අතරෙන් කාන්තා කායවර්ධන ක්‍රීඩාව වෙසෙසින් ප්‍රමුඛ තලයේ ලා දැක්විය හැකි ය. එය දේශීයව සලකන කල්හි වඩාත්ම බලපෑම් කරන්නේ සංස්කෘතික කාරණා යැයි කීම වඩා සාධාරණය. කෙසේ නමුත් මෑතකාලීනව මෙම ක්‍රීඩාව සඳහා කාන්තාවගේ යොමුවීම සුළු වශයෙන් හෝ වර්ධනය වෙමින් පවතී. ඊට හේතුව ඇතැම්වට ඇය වන්නට ද පිළිවන. එහෙයින් පසුගිය දා ‘ක්‍රීඩා’ පුවත්පතට ඈ මුණ ගැසිණි. ඇය නමින් මදූෂි අමරසිංහ ය.

‘මදූෂි උපත ලබන්නේ 1989 වර්ෂයේ කෑගල්ල ප්‍රදේශයේ ය. ඒ දෙදරු පවුලක වැඩිමලා ලෙස ය. ඇගේ පියා මහින්ද අමරසිංහ හෝටල් සංස්ථාවේ කළමනාකරුවකි. මව එමෙල්ඩා බ්‍රියටිස් ය. ඈ ගෘහණියකි. ඇගේ බාල සොයුරු වන ජනිත් අමරසිංහ දැන් ජීවත් වන්නේ කැනඩාවේ ය.

මදූෂි උපත ලැබුවේ කෑගල්ලේ වුවද ඈ පාසල් ගියේ හලාවත ආනන්ද ජාතික පාසලට ය. පාසල් දිවිය තුළ ඉගෙනීමට මෙන් ම ක්‍රීඩාව තුළින් ඈ කැපී පෙනෙන්නට වූවා ය. ඒ අතර දැල් පන්දු, පැසි පන්දු යන ක්‍රීඩාවලින් අන්තර් පාසල් ක්‍රීඩා තරගවලට සහ-

භාගි වීමට ඇයට හැකි විණි. 2005 වසරේ සාමාන්‍ය පෙළ විභාගය උසස් ලෙස සමත්ව (ඒ සාමාර්ථ 6 ක්, බී සාමාර්ථ 2 ක් හා සී සාමාර්ථ 2 ක් සමඟින්) 2008 වසරේ දී වාණිජ අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටීමට ඇයට හැකි විණි.

එහිදී බී සාමාර්ථ 2 ක් හා සී සාමාර්ථයක් ලබා ගෙන සබරගමු විශ්වවිද්‍යාලයට එක්වන්නට ඇයට අවස්ථාව උදාවිය. එහෙත් ඇයට විශ්වවිද්‍යාලයට පිවිසීම ප්‍රතික්ෂේප කරන්න සිදුවූයේ ය.

“මට කුඩා කල සිට ම ඇදුම රෝගය තිබුණා. ක්‍රීඩාවල දී වුණත් ජාතික මට්ටමට යන්න කැමැත්තක්, හැකියාවක් මට තිබ්බත් මේ අසනීප තත්ත්වය මාව නැවැත්තුවා. විශ්ව-විද්‍යාල වරම ඕනෑම උසස් පෙළ ළමයෙක්ගේ සිහිනයක්. මට තිබුණ හීනය නීති පීඨයට ඇතුළු වෙන්න. විභාගය ඉහළින්ම සමත්වීම ඉලක්ක කර ගෙන විභාගෙට පාඩම් කරමින් මහන්සි වුණ නිසා, මේ රෝගය විභාගය පවතින කාලවකවානුව තුළ තවත් වැඩි වුණා. නීතී පීඨයට ඇතුළු වෙන්න ප්‍රතිඵල නොතිබුණත් මට සබරගමු විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලාවක් සඳහා අවස්ථාව ලැබුණා. ඒත් මගේ රෝගය නිසා ගෙදරින් පිට යනවට අම්මයි තාත්තයි කැමති වුණේ නෑ. ජීවිතේ කිනම් හෝ දිනක මම නීතී අංශයෙන් ඉගෙනගෙන, නීතිඥවරියක් වෙනවා කියන අරමුණු සමඟ පෞද්ගලික අංශයේ, සන්නිවේදන ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වුණා.”

මෙලෙස පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වූ මදුෂි, 2014 වර්ෂයේ දී පෞද්ගලික අංශයේ කළමනාකරුවකු වන අරවින්ද ප්‍රනාන්දු සමඟ විවාහ විය. සිය සැමියාගේ සහයෝගය සමඟ තම කුඩා කල අරමුණු ජය ගැනීමට විවෘත විශ්වවිද්‍යාලයේ නීතීවේදය ඉගෙනගැනීම ආරම්භ කරනු ලැබී ය. එහි දෙවැනි වසරේ දී නැවතත් ඇදුම රෝගය උත්සන්න විය.

“දේශනවලට සහභාගි වෙන්න, පාඩම් කරන්න, විභාගවලට මුහුණ දෙන්න මට අපහසු බව තේරුම් ගත්තා. මම ගෙදර නැවතුණා. ගොඩක් දුක් වුණා. පසුව දුක තුනී කර ගන්න වෙනයම් හරි ක්ෂේත්‍රයක නිරතවීමට අවශ්‍ය බව මට වැටහුණා. මම දවස් කිහිපයක් මගේ සැමියා එක්ක කායවර්ධනාගාරයකට ගියා. විශේෂයෙන් ඇදුමට කායවර්ධන ක්‍රීඩාව කරන්න යන එක හොඳයි කියලා මගේ සැමියාත් කිව්වා. රෝගයට ඖෂධයක් කියලා හිතාගෙන මම සති කිහිපයක් එතැනට ගියා. එහෙම යනකොට මගේ ශරීරයේ වෙනසක් තේරුණා. ඔයාට තියෙන්න ජවසම්පන්න ශරීරයක් කියලා මට මගේ පාසල් කාලයේ දී ක්‍රීඩා භාර ගුරුවරයා කියා තිබුණා. ඒ අනුව මේ ක්ෂේත්‍රයේ තාක්ෂණික පැතිකඩ අධ්‍යයනය කරන්න අවශ්‍ය බවක් මට හැඟුණා. පසුව Lanka Institute of Fitness and Nutrition ආයතනයේ අධ්‍යාපන කටයුතු ආරම්භ කරලා, 2021 පෙබර-වාරි මාසයේදී NVQ level 04 සමත් වෙන්න මට හැකිවුණා. දැනට මම වෘත්තියෙන් ශරීරික යෝග්‍යතා පුහුණු-කරුවෙක් ලෙස කටයුතු කරනවා.”

මදුෂි ශරීරික යෝග්‍යතාවයට යොමු වීමෙන් අනතුරුව ඈ කුඩා කල සිට පෙළුණු රෝගයෙන් සුවපත් විය. ඇයට ඉන් වෘත්තීය මඟක්ද බිහි විණි. අද ඇය සිසු සිසුවියන් 75 ක ට පමණ පෞද්ගලික හා කණ්ඩායම් වශයෙන් ශාරීරික යෝග්‍යතාව පුහුණු කරවන පුහුණුකාරිනියකි. ඇගේ සිසුවියන්ගේ ද අරමුණ කෙසේ හෝ මදූෂි හා සමාන සිරුරක් ගොඩනඟා ගැනීම ය. දෙමව්පියන්ගේ ආශිර්වාදය හා සැමියාගෙන් ලබන සහයෝගය අනුව මදුෂි දැන් අලුත් කටයුත්තකට අතගසා ඇත.

“මට අහිංසක ආඩම්බරයක් තියෙනවා මාව අනුගමනය කරන පිරිසක් ඉන්න එක ගැන. මම නම් අනුගමනය කරන්නේ අමෙරිකාවේ ආනෝල්ඩ්ව. ගැහැනියෙක් විදියට අනෝල්ඩ්ව හඹා යෑම අසීරු ඉලක්කයක් වුණත් ඉලක්කය අසීරු වෙන තරමට ඒ වෙනුවෙන් පවතින ස්වයං කැපවීම වැඩි වෙනවා. අනිවාර්යෙන්ම ජාතික මට්ටමෙන් පටන්ගෙන කායවර්ධන ක්‍රීඩාව තුළින් මම ජාත්‍යන්තර මට්ටම දක්වාම ඉදිරියටම යනවා. මම ඖෂධයක් ලෙස ආරම්භ කළ ක්ෂේත්‍රයෙන් ඉදිරියටයන අතරෙම නීතීඥවරියෙක් වීමේ කුඩා කල සිහිනයත් මම අනිවාර්යෙන්ම ඉටුකර ගන්නවා. ඒ වගේම දැනට ශරීරික යෝග්‍යතාව වෙනුවෙන් කරන පුහුණු කිරීම් නුදුරු අනාගතයේ දී ආත්ම ආරක්ෂාව, ආත්ම විශ්වාසය හා ආත්ම අභිමානය ඇති කිරීම හරහා කාන්තා පෞරුෂත්වය වර්ධනය කිරීම තෙක් පුළුල් කරන්න මගේ අරමුණක් තියෙනවා.”

කෙතරම් බාධක මැද වුව ද ජීවිතේ ගොඩනඟාගෙන, සිය අරමුණු වෙනු-වෙන් කැපවෙන මදුෂි, සුළු පසුබෑමක් හමුවේ වුව ද සිය අරමුණු වෙනස් කරන සමාජයටම ලබා දෙන්නේ ප්‍රායෝගික පාඩමකි.

යෙනුක සිසිල්චන්ද්‍ර – සිළුමිණ පුවත්පත

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x